(පළමුවැනි කොටස)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිරස ටීවී නාලිකාවේ ඉලක්කය වැඩසටහනට සහභාගී වෙමින් සිදු කළ සාකච්ඡාව. වැඩසටහන රොෂාන් ප්‍රිය වටවල මහතා මෙහෙයවීය.
ආයුබෝවන්!
ප්‍ර.
ගරු මැතිනියනි ඔබතුමියගේ දේශපාලන ජිවිතය ආපසු හැරී බලන්නට කාලය නැහැ අපට මේ මොහොතේ. නමුත් මේ රටේ හුදු සෑම ජනතාවම දන්නවා බණ්ඩාරනායක මහත්තය ගැන, සිරිමාවෝ මැතිනිය ගැන, අනුර බණ්ඩාරනායක ගැන, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ගැන. විජය කුමාරතුංග මහත්මයා ගැන. හැබැයි මේ කවරදාටත් වඩා වෙනස් දේශපාලන සංස්කෘතියක් පසුගිය කාලේ නිර්මාණය වුණා. හැබැයි මං කැමතියි ඔබ කැමති තැනකින් පටන්ගන්න. 2005, 2010 හෝ මේ ආපසු හැරිල බලද්දී මේ රටේ ඔබෙන් පසු පැවති දේශපාලනය ගැන ඔබේ අදහස කුමක්ද?
පි.
පළමුවෙන්ම මට මගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබාදීම ගැන රොෂාන් ඔබටත් සිරසටත් මගේ ස්තූතිය පුද කරනවා. මා ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගියාට පසු සහභාගී වන පළමුවැනි රූපවාහිනී සාකච්ඡාවයි මේ. මෙතෙක් කල් මගෙන් හුඟක් මාධ්‍ය ඉල්ලලා තිබුණා. මම ඒවා ප්‍රතික්ෂේප කෙරුවා. දේශපාලන හේතු තිබෙනවා. ඔබ අහපු ප්‍රශ්නය ගැන හුඟක් ආපස්සට යන්න ගියොත් දින ගණනාවක් අපට සාකච්ඡා කරන්න වෙනවා. මගේ ජීවිත කථාව දැන් ලියන්න පටන්ගෙන තියෙනවා. මං හිතන්නේ එහි සඳහන් වෙයි. මොකද අපේ ලාංකිකයොන්ට හුඟක් අමතක වෙනවා බොහොම ඉක්මනට. ඒක නිසා ඒවා මතක් කරල දෙන එක ඒක හොඳයි. කෙසේ වෙතත් අපි පටන්ගත්තොත් මේ මැතිවරණය ගැනනේ අපි කථා කරන්නේ. මැතිවරණය පෙර සහ ඉන් පසු සිදුවෙන දේවල් ගැන බලාපොරොත්තු වෙන දේවල් ගැන කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඊට කෙළින්ම සම්බන්ධ කරුණු කිහිපයක් විතරක් මං කියන්නම්. අපි හුඟ දෙනෙක් එකතු වුණේ කවදාවත් මේ රටේ නිදහස් ලංකාවේ නොවූ විරූ ආකාරයේ සන්ධානයක් එකමුතුවක් ඇතිවුණේ යම් කිසි ප්‍රධාන හේතුවක් දෙකක් නිසා. ඒ මං හිතන්නේ මං පැහැදිලි කරන්න අවශ්‍ය නෑ මේ මැතිවරණ ව්‍යාපාරය පුරාම අපි කථා කෙරුවා. ආපසු වතාවක් මතක් කිරීමක් වශයෙන් වසර 9 ක් මේ රටේ පැවතුණ ආණ්ඩු ක්‍රමය පුද්ගලයෝ ගැන නෙමෙයි මං කථා කරන්නේ එක්තරා ජනාධිපති කෙනෙක් යටතේ ආරම්භ කරපු නව දේශපාලන සංස්කෘතිය නව ආණ්ඩුකරණයට විරුද්ධවයි මේ එකතු වුණේ අපි ඔක්කොම. ඉතින් එහෙම දෙයක් සිද්ධවුණේ කොහොමද කියල පොඩ්ඩක් ආපස්සට බැලුවොත් ඇත්තවශයෙන්ම මට හුඟාක් දැන් මේ බලධාරීන් පත්වෙලා අවුරුදු 9 යි. මේ අවුරුදු 9 න් අවුරුදු 8ක් විශේෂයෙන්ම අවුරුදු 7 ක් පුරාම මට හොඳටම දොස් කිව්වා මේ රටේ ජනතාව. මා පාරවල්වල දකින කොට නවත්වලා මැඩම් ආපහු එනවද රට බේරගන්න කියල අහනකොට නෑ මම දැන් දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්නේ කියන කොට මට දොස් කියනවා. එහෙම එහෙම මේක එන්න එන්න වැඩිවුණා. ඉතින් මම හිතන්නේ පළමුවෙන්ම ජනතාවගේ පැත්තෙන්. මේ සිදුවුණු ඇතිකර තිබෙන ක්‍රමයේ විවිධ ඵල විපාකවලට ජනතාවගේ පැත්තෙන් තමයි ප්‍රථමයෙන්ම විරෝධතාවය පටන් ගත්තේ. මම කියන්නේ නෑ සියලු දෙනාම කියල. ටික ටික පටන් ගත්තා. සාමාන්‍ය ජනතාව මම පාරේ යනකොට පවා නවත්වලා කථා කරනවා. කථා කරල කියනවා දන්නේ නැති අය. හුඟ දෙනෙක් කියනවා අපි ඔබතුමියට ඡන්දෙ දුන්නෙත් නැහැ කියල අපි වෙනත් පක්ෂෙක කියල. ඊළඟට මගෙ පක්ෂෙ අය. පටන් ගත්තේ ජනතාවගෙන්. ඊට පස්සේ ටික ටික ටික මේක බුර බුරා නැගීගෙන ආවා. වසරින් වසරට වැඩිවෙනවා. ඊළඟට අනෙකුත් පක්ෂවල නායකයෝ. එක්සත් ජාතික පක්ෂෙත් සමහර ප්‍රධානීන්. මා ඇවිල්ලා හම්බවෙලා මේ ක්‍රමය පරාජය කරන්න ඕනෑ. මේකට විරුද්ධව ආරම්භ කළ යුතු සටනේ නායකත්වය ගන්න කිය කිය එක එක්කෙනා කියන්න පටන් ගත්තා. ස්වාමීන්වහන්සේලා, පූජකවරු, බුද්ධිමතුන් අනෙක් පක්ෂවල නායකයින් ඉතින් මං හිතන්නේ ඒ අයගේ ඒ අවශ්‍යතාවය මම දිගටම ප්‍රතික්ෂේප කළා මට නම් ආයේ දේශපාලනයට එන්න කිසීම පෙරේතකමක් නැහැ කියල. මම දේශපාලනයට ආවේ වාර දෙක කරල ගෙදර යනවා කියල. මං ඒක ඒ විදියටම ක්‍රියාත්මක කෙරුවා. මගේ විශ්වාසයක් තියෙනවා දේශපාලන බලය කියන එක අපි හැමදාම ඩැහැගෙන ඒකෙ එල්ලිලා ඉන්න හොඳ නැහැ. අපිට යම් කිසි ප්‍රමාණයක් කලක් කරල ඊළඟට වෙන කාට හරි බාර දීල අපි යන්න ඕන. ඒක හැමදාම අපිට මේ ආවේණික වෙච්චි අහසින් කඩා වැටිච්චි පරම්පරාගත බලයක් නෙමෙයි. මේක ජනතාව අපට දීල තියෙන්නේ යම්තම් හරි ජනතාව අපට ලබාදුන්නු බලය ගැන සැකයක් හරි තියෙනව කියල හිතුණොත් දේශපාලන නායකයෙක් ගෙදර යන්න දැනගන්න ඕන. ඉතින් කොහොමහරි මෙතැන එහෙම සිදුවුණේ නැහැ. මම කව්වේ මට නම් ආයෙ එන්න බැහැ කියල. ඒක මේක එහෙම එහෙම ගියා.
ප්‍ර.
ඒ කියන්නේ ගරු මැතිනියනි මේ රටේ ජනතාව ඔබතුමියට ආරාධනා කළේ නැවත රටේ නායකත්වයට පත්වෙන්න කියලද?
පි.
ජනාධිපතිධූරයට ඉල්ලන්න කියල. මහින්ද රාජපක්ෂව පරාජය කරන්න කියලා. ඒක එහෙමමයි කිව්වේ.
ප්‍ර. ඇයි ඔබතුමිය ඒ ජනතා හඬට සවන් නොදුන්නේ?
පි.
මම දැන් අර කියාගෙන ආපු හේතුව. මම හිතුවෙ නෑ ආපහු දෙවරක් ජනාධිපතිධූරයේ ඉඳල ඇවිල්ල ආයේ මේකට පැනගන්න අවශ්‍යයි කියල මම හිතුවේ නැහැ. ඒක කැතයි.
ප්‍ර.
කොහොමද ඊට පස්සේ වුණේ. කොහොමද මේ මෛත්‍රිපාල සිරිසේන මහතා ආවේ?
පි.
මම එන්නෑ කියල තීන්දු කරපුවම තව කවුරු හරි හොයාගත්තා.
ප්‍ර.
ඒක කියන්න කැමතිද මේ රටේ සාමාන්‍ය ජනතාවට. දැන් සියල්ල සිදුවී හමාර නිසා මං කැමතියි ඔබතුමියගෙන් දැනගන්න?
පි.
දිගින් දිගටම මං මේ කියනවා වගේ මේ ඉල්ලීම ආවා, පස්සේ සමහරු බැන බැන මට එන්න කිව්වා. ඔබතුමියට විතරයි මේක කරන්න පුළුවන්, මෙයාව පරද්දන්න පුළුවන් ඔයාට විතරයි කරුණාකරල එන්න කිව්වා මං බෑම කිව්වා. බුද්ධිමතුන්, වෘත්තිකවේදීන් මම දන්නැති අයත් එපොයිමන්ට් අරගෙන එනවා. නම් දන්නවා මගේ යාළුවෝ නෙමෙයි. විදේශ රටවලින්. තදබල ලෙස යෝජනාව ආවා. මේ රට බේරගන්න ඕනි නම් මොකක් හරි ඔබතුමියට කරන්න වෙයි කියලා. ඉතින් ඔය වාගේ දිගට ගියා. මං පැහැදිලිව ඉතාමත් තදින්ම ඒ තීන්දුවේ හිටියා මං ආපහු දේශපාලනයට එන්නේ නැහැ කියලා. එකක් මම හිතන්නේ එක පුද්ගලයාම දිගටම ඉන්න ඕනෙ නැහැ. මං ප්‍රජාතන්ත්‍රවාදියෙක් කවුරු මොනවා හිතුවත්. දෙක මට මේ නීති හදාගෙන ආවා අපේ පක්ෂයේ ඇමැතිවරු එහෙම මේ තව වාරයක් ඉන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න. මම කිව්වා කීයටවත් මං ඒක කරන්නේ නැහැ කියලා. ඉතින් කොහොමහරි ඒ වෙලාවේ මගේ ජනප්‍රියතාව අඩුවෙලා තිබුණේ නැහැ. මට ඕනෙ නම් ඉන්න තිබුණා 2005. කෙහොමහරි ඒක එකක්. අනික් එක මහින්ද රාජපක්ෂගේ රජය සහ මහින්ද රාජපක්ෂ මේ රටේ ඇතිකරපු ජරාම දේශපාලන සංස්කෘතිය තුළින් මට දේශපාලනය එපා වෙලා තිබුණා. සහ එතුමා ඒකටම සම්බන්ධ කරුණක් එතුමා අපේ පක්ෂයේ විශේෂයෙන් දේශපාලන , මොකක්ද ඒකට කියන්නේ? දේශපාලන ඩයස්පෝරාව. අපේ රටේ දේශපාලන ඩයස්පෝරාව විශේෂයෙන්ම ආණ්ඩුවේ දේශපාලකයින් විශාල වශයෙන් ආකල්පමය වෙනසක් ඇති කරල තිබුණා. රාජපක්ෂ පාලනය තුළින්. ඒ අයව ජරා කරල තිබුණා. සමාවෙන්න කිව්වට. ලොක්කා වැරදි වැඩ කරනකොට අනික් අයටත් වැරදි වැඩ කරන්න දීල තිබුණා. එක එක මං කියන්න ඕනේ නැහැ මොනවද කියල. ඉතින් එවැනි අයත් සමග නැවත වැඩ කරන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ.
ප්‍ර.
ගරු මැතිනියනි ඔබතුමිය දේශපාලන වේදිකාවේදි කිව්වා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ඔබතුමියගේ අතින් අල්ලාගෙන ජනාධිපති පුටුවේ ඉන්දෙව්වේ කියල. එහෙමනම් ඔබතුමියගේ අනුශාසනාව, ඔබතුමියගේ ආශිර්වාදය, ඔබතුමියගේ කැමැත්ත මතයි ඒ දේ සිද්ධ වෙන්නේ. පස්සේ කොතැනද මේක වැරදුණේ. 2005 න් පස්සෙද? එහෙම නැත්නම් යුද්දේ දින්නයින් පස්සෙද? 2010 න් පස්සෙද? කොතනද මේ සීමා ඉර? ඔබතුමියට මේ යන විදිය වැරදිය කියල ආණ්ඩුව දැනුණේ?
පි.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ගිය වැරැද්ද ගැන කථා කරන්න පෙර, මම මෝඩ තීන්දුවක් ගත්තේ.
ප්‍ර.
අද ඔබ පිළිගන්නවා?
පි.
අද මං ඒක පිළිගන්නවා මං කරපු එකම පුවත්පත් සාකච්ඡාව ලසන්ත වික්‍රමතුංග සමඟ මං එතැනත් කිව්වා ඒක. මං බලයෙන් ගිහිල්ලා අවුරුද්දකට පස්සේ. ඒකයි මම ඒ වෙලාවේ ලාවට කිව්වේ. මොකද තවමත් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂට බාධාවක් ඇති කරන්න කැමති වුනේ නැති හින්දා බොහොම ලාවට කිව්වේ. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂක ධූරය මහින්ද රාජපක්ෂට දෙනවද නැද්ද කියල කාටද දෙන්නේ කියල අපි හිත හති ඉන්නකොට අපේ පක්ෂයේ සහ ආණ්ඩුවේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය කියන්නේ උත්තරීතර මණ්ඩලය. 61 දෙනයි හිටියේ. 61 දෙනාගෙන් 56 දෙනෙක් සමහර වැඩිහිටි පිරිමි ඇමැතිවරු අඬ අඬ මට කිව්වේ මෙයාට දෙන්න එපා කියලා. 56 දෙනෙක් දෙන්න එපා කිව්වා. තුන් දෙනයි දෙන්න කිව්වේ. ඉතුරු දෙන්නා එතුමයි මමයි ඉතින් අපි දෙන්නා ගණන් ගත්තේ නැත්නම්. දෙන්න එපා කිව්වා, මැඩම්ට මතකද නැද්ද මෙයා පක්ෂෙට කරපු හානිය. ජයවර්ධන ආණ්ඩුවෙන් සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් උදුරාගත්ත වෙලාවේ, මැතිනියට... කැත විදියට කිව්වේ මේ ගෑණිට පක්ෂයේ සභාපතිකමේ ඉන්න බැහැ ප්‍රජා අයිතිවාසිකම් නැති නිසා කියල බොරු න්‍යායක් දාලා රට හැමතැනම සිරිමාවෝ මැතිනියව පක්ෂ නායකත්වයෙන් පන්නන්න සටන් වැදුණු ප්‍රධානියෝ දෙන්න තුන්දෙනා තමයි මෛත්‍රිපාල සේනානායක. සිරිසේන නෙමෙයි. එවකට පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක. මහින්ද රාජපක්ෂ සහ කනගාටුයි කියන්න මගේ මල්ලි. එතුමාවත් අල්ලගත්ත රවට්ටගෙන. බෙහෝම හිත හොඳ පුද්ගලයෙක් එයාවත් රවට්ටගෙන ඒ සටනට එකතු කරගත්තා. එයාව තමයි ඉස්සරහට දැම්මේ. මැතිනියගේ පුත්‍රයා නිසා. දාලා රට හැමතැනම මේගොල්ලෝ මා කලබගෑණියක් ඇති කෙරුවා පක්ෂයට. හැමතැනම රැස්වීම් තිය තිය ගිහිල්ලා පාක්ෂිකයින්ගේ හිත් අවුල් කරලා මෙයා බලෙන් ඉන්න හදනවා මැතිනිය ඒ නිසා පක්ෂෙට හානියක් වෙනවා ඒක නීති විරෝධියි. එහෙම කිසිම නීතියක් තිබුණේ නැහැ. ඉතින් මෙහෙම යනකොට පක්ෂේ දෙකඩ වුණා. ඒ වෙලාවේ ඇත්ත වශයෙන්ම මැතිනියගේ නායකත්වය ආරක්ෂා කිරීම පක්ෂය ආරක්ෂා කිරීම ඒ තුළින් පක්ෂය ආරක්ෂා කිරීමේ සටනේ නායකත්වය ගත්තේ විජයයි මමයි. එතකොට පක්ෂයේ හිටපු ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨයෝ. දැන් එහෙම ශ්‍රේෂ්ඨයෝ නෑ පක්ෂේ. ටී.බී.ඉලංගරත්න වැන්නවුන්, හෙක්ටර් කොබ්බෑකඩුව වැන්නවුන් මේ අය විජයවයි මාවයි හම්බවෙන්න ඇවිල්ලා මට තාමත් මතකයි අපේ රොස්මිඩ් ගෙදරට මගේ ගෙදරට, ඒක දැන් මං විකුණලා. ඇවිල්ලා අපිට කිව්වේ අපි සටන් කරල සටන් කරල දේශපාලන වශයෙන් අපිට හරි මහන්සියි. ඔයගොල්ලො දෙන්නා තරුණයි. ඔයගොල්ලො මේ සටනෙ නායකත්වය ගත්තොත් අපි සහයෝගය දෙනවා. අන්තිමට සිදුවුණේ එහෙමයි. රත්න දේශප්‍රිය දිසානායක, රත්නසිරි වික්‍රමනායක විශාල කාර්ය භාරයක් දැරුවා පක්ෂේ ලේකම් හැටියට අපි සටන දියත් කරලා කොහොමහරි දිනුවා. කියන්නේ මැතිනියගේ පැත්ත දිනුවා. හැබැයි ඒ වෙලාවේ මේගොල්ලෝ කරපු දේවල් ඩාලි රෝඩ් එකේ අපේ පක්ෂ මුලස්ථානය යූඑන්පී ආණ්ඩුවට භාර දුන්නා. ලියුමක් අත්සන් කරලා.
ප්‍ර.
ඔබ මැතිනිය මේ කියන්නේ අතීතය?
පි.
අතීතය 81/82, ඊට පස්සේ කොහොමහරි අපි මැතිනියගේ නායකත්වය ආරක්ෂා කරල පක්ෂේ ආරක්ෂා කරගෙන හිටියා. 13 දෙනාගේ කල්ලිය කියලා කට්ටියක්, ඒකට මහින්ද රාජපක්ෂත් අයිතියි. පක්ෂ සාමාජිකත්වය මැතිනිය පක්ෂ සභාපතිනිය හැටියට ඒ අයගේ සාමාජිකත්වය තහනම් කෙරුවා. 13 දෙනාගේ කල්ලියේ. ඒකේ මහින්ද රාජපක්ෂත් හිටියා. ඒ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බා. පළවැනි ජනාධිපතිවරණ ඡන්දය. ජේ.ආර්.ජයවර්ධනට විරුද්ධව අපේ පක්ෂෙන් ඉදිරිපත් කෙරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා. හෙක්ටර් කොබ්බෑකඩුවට විරුද්ධව බැසිල් රාජපක්ෂ යූඇන්පී එකට සම්බන්ධවෙලා යූඇන්පී වේදිකාවේ කොබ්බෑකඩුව පරද්දන්න ලංකාවේ හැමතැනම රැස්වීම් තිබ්බා. මහින්ද රාජපක්ෂ නිහඬවුණා. වැඩ කෙරුවේ නැහැ. ඉතින් කොහොමහරි මේ වාගේ හුඟක් දෙවල් තිබුණා. මේවා දැනගෙන තමයි අපේ පක්ෂේ ප්‍රධානීන් මට කිව්වේ මැඩම්ට පිස්සුද මේ මනුස්සයට දෙන්න කියලා. මම ඒ වෙලාවේ කිව්වා නෑ මම හිතන්නේ මෙයා හැදිලා තියෙනවා. එතැනයි මම මෝඩවුණා කියල කියන්නේ. මම ඉතාමත් අවංකව කියන්නේ.
ප්‍ර.
එතැන අර මැතිනිය කියන ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. මැතිනිය කිව්වා දැන් අර පාපොච්චාරණයක් කරනවා මම මෝඩ වුණා කියලා මේ රට හමුවේ.
පි.
ඔව් අර මිනිස්සු කිව්ව එක ඇහුවේ නැහැ.
ප්‍ර.
56 ක් කියපු එක අහන්නේ නැතිව 3 දෙනෙක් කියපු දෙය...
පි.
මං ඡන්දෙකටවත් ගියෙ නැහැ.
ප්‍ර.
හැබැයි එදා මැතිනිය මහින්ද කෙරේ තබපු විශ්වාසය මහින්ද ආරක්ෂා කළාද?
පි.
නැහැ කොහෙත්ම නැහැ. ඇත්ත වශයෙන්ම ඒ විශ්වාසය, මං දෙගිඩියාවෙන් විශ්වාසය තිබ්බේ. වෙන කෙනෙක් නැති නිසා ඒ වෙලාවේ. මෙයාට මං හැදෙන්න දුන්නා. විපක්ෂ නායක කරල එතැනින් අගමැති කරලා ඊට පස්සේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මට විරුද්ධව යූඑන්පී එකත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කෙරුවා. රනිල් වික්‍රමසිංහ එක්ක අගමැති වෙච්චි වෙලාවේ මාව ඉන්පිච් කරන්න (දෝෂාභියෝගයක්) මන්ත්‍රීවරු 23 දෙනෙක් අපේ පැත්තෙන් අවශ්‍ය වෙලා තිබුණා යූඑන්පී එකට. ඒගොල්ලෝ හුඟක් කටයුතු කෙරුවා ඒකට. ඒ අය එක්ක තමයි දැන් මම මේවා කරන්නේ. ඒවා අපි රට වෙනුවෙන් ඒවා අමතක කරල තියෙන්නේ.
ප්‍ර.
මේ රට නොදන්න බෙහෝ දේ අද මැතිනිය අනාවරණය කරනවා.
පි.
23 දෙනා මම අරන් දෙන්නම් කියල ඉවරවෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොරොන්දු වෙලා මහින්ද රාජපක්ෂ ලොකු මෙහෙයුමක් කෙරුවා පක්ෂේ ඇතුළේ. හැබැයි එයාට ගන්න පුළුවන් වුණේ 6 දෙනයි. ඉතින් ඒක නිසා ඒක කෙරුණේ නැහැ. 23 නැතුව කරන්න බැහැනේ. ඔය වාගේ හුඟක් දේවල් තිබුණා. මම ඒවා දැනගෙන හිටියේ . නමුත් පස්සේ පස්සේ මෙයා හැදිලා වාගේ නිකන් ඔහේ නිහඬව හිටියා. මම හිතුවා කමක් නැහැ මේ හැමදාම පරණ ඒවා මතක තියාගෙන ඉන්න බැහැ. මම එහෙම කෙනෙක් පරණ ඒවා මතක තියාගෙන හිටිය නම් අද රනිල් එක්ක එකට වැඩ කරන්නත් බැහැ. ඉතින් ඒක නිසා රට වෙනුවෙන් මේක කරන්න ඕනෑ. මෙයාව හදාගන්න පුළුවන් වෙයි. අරකයි මේකයි කියලා දුන්නා. බලයට ආපු දවසේ මං ටෙලිෆෝන් කෙරුවා එයාට සුබ පතන්න. විනාඩි 19 ක් මට කෑගහලා කුණුහරුපෙන් බැන්නා. ටෙලිෆෝන් එකෙන්.
ප්‍ර.
ගරු මැතිනියනි මේ කාරණාව පළමුවරටද මාධ්‍යයෙන් රටට කියන්නේ?
පි.
පළමුවරට කියන්නේ. කෑගහලා බැන්නා මට. මොකද මේවා මං ඉස්සෙල්ල කියල තියෙනව කිව්වාට දාන්න බැහැනේ කවුරු හරි මාධ්‍යවේදියෙක් දැම්මනම් එයා පහුවදා ජීවතුන් අතර නැහැ. දැන් කියන්න පුළුවන් මොකද තමුන්නාන්සේලාට දාන්න පුළුවන් මේවා. ඒකයි මං කිව්වේ. ඇත්තටම. ඉතින් කෑ ගහලා විනාඩි 19 ක් මට බැන්නා. මං හරීම හිත අමාරුවෙන් කිසි දෙයක් කියන්නේ නැතිව නිහඬව ටයිම් කෙරුවා. මේක වෙලාව බලල ඊට පස්සේ මං කිව්වා යම්කිසි එක වාක්‍යයක් කිව්වා. එයා ගැන මං දන්න අපේ මල්ලි දන්න නමුත් වෙන වැඩි දෙනෙක් දන්නේ නැති දෙයක්. ටක් ගාලා කථාව නවත්තලා ටෙලිෆෝන් එක තිබ්බා. ඉතින් එතැනින් පටන් ගත්ත ගමන හරියට මගෙන් පළිගත්තා. එක එක මං කියන්න කැමති නැහැ. හිටපු ජනාධිපති කෙනෙක් හැටියට අනෙක් හිටපු ජනාධිපතිවරුන්ට හිමිවුණ සියලු වරප්‍රසාද මගෙන් උදුරගත්තා. මේ ගෙදර නිල නිවාසයක්. අපි දැන් මේ ඉන්ටවීව් එක කරන මේ ගෙදර. මේ නිල නිවාසෙන් පන්නන්න ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී කෙනෙක්ව යැව්වා උසාවියට මාව නිල නිවසෙන් පන්නන්න ඕන. මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන. මට සතු කාර්යාලය වහල දාන්න ඕන. ජේ.ආර්.ජයවර්ධනට, ඩී.බී.විජේතුංගට, ප්‍රේමදාස මහත්මියට අයිති නැතුවත් දීල තිබුණා. ඒක මමත් දිගටම දුන්නා. දීලා මට මගෙ ආණ්ඩුවෙන් දුන්නු එක අවුරුදු දෙකකට පස්සෙ වහලා දැම්මා මහින්ද රාජපක්ෂ. ඉතින් ඒවා මට හිමි නෑ කියල නඩුවක් කිව්වා. සරත් සිල්වා නඩුව ඇහුවේ. පුළුවන් තරම් මට කැත විදියට නඩුව වෙලාවේ නිග්‍රහ කරල හැබැයි ගේ උදුරගන්න බැරිවුණා. මොකද පනතක් තියෙනවා ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනාපු ගේ දෙන්න වුණා. කාර්යාලය වහල දැම්මා. මගේ සිකියුරිටි එක දවසක් ඇතුළත සියලු දෙනා ඉවත් කළා.
ප්‍ර.
මං අහල තියෙන්නේ 5 දෙනෙක්ට සීමා කළා කියලා?
පි.
නෑ නෑ ඔක්කොම ටික ඉවත් කළා. ඊට පස්සේ මාසෙකට පස්සේ එව්වා. මාසෙකට පස්සේ එව්වේ ඇත්ත වශයෙන්ම අපි පෙන්නුම් කෙරුවා, උසාවියේදි අපි පෙන්නුවා එල්ටීටීඊ එක විවිධ බුලටින් ගහල තිබුණා චන්ද්‍රිකා ගෙදර ගියාට අපි එයාව අමතක කරන්නේ නැහැ. යාපනේ අපෙන් උදුර ගත්තට අරව මේව කෙරුවට මං මේ මේගොල්ලො වාගෙ මානව හිමිකම් උල්ලංඝනය කෙරුවට නෙමෙයි. මේ මේ දේවල් කෙරුවට ඒ කියන්නේ අපි යුද්දේ ජයග්‍රහණ මතක් කරලා ඒ නිසා මෙයාව අපි ජීවතුන් අතර තියන්නේ නැහැ කියල ලිඛිතව කියල තියෙද්දි මගෙ සිකියුරිටි එක ඔක්කොම ඉවත් කළේ. ඊට පස්සේ කොහොමහරි මම පිංසෙන්ඩු වෙන්න ගියේ නැහැ. මං ලිව්ව ලියුම් ගණනාවක් මගේ සිකියුරිටි එක අඩු කර කර හිටියේ ටික ටික ගෝඨාභයට ලීව්වා, මහින්දට ලීව්වා ලියුම ලැබුණු බවක්වත් දැන්නුවේ නැහැ. ඊට පස්සේ මං ලියන එක නැවැත්තුවා. හැබැයි මං දැනුම් දුන්නා රටවල් 4කට. ඇමෙරිකාවට, එංගලන්තයට, ප්‍රංශයට, ඉන්දියාවට මගේ සිකියුරිටි සම්පූර්ණයෙන් අයින් කරලා මට ආයේ රටට එන්න ලැබෙන්නේ නැහැ කියල. ඒ අය මං හිතන්නේ මේක බලවත් ලෙස හිටපු විදේශ ඇමැතිට කියලා රෝහිත බෝගොල්ලාගම එතුමා ගිහිල්ලා මං හිතන්නේ සාධාරණව ඒක කරුණු ඉදිරිපත් කරලා. ඊට පස්සේ බයවුණා. බයවෙලා මගෙන් ගත්ත සිකියුරිටි එකෙන් 1/4 ක් මට ආපසු එව්වා මාසෙකට පස්සේ. ඔය වගේ මට හරියට වදකෙරුවා. දේශපාලන වශයෙන් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට නියෝග කෙරුවා මහින්ද රාජපක්ෂ මට කථා කරන්න එපා කියලා. ඉතින් මේ එක්කෙනෙක්වත් මට කථා කෙරුවේ නැහැ අවුරුදු 9 ක් තිස්සේ. මට කථා කරන්න ඕන්නම් හොරෙන් පණිවිඩ එවන්නෙ. දැන් ඒකට සම්බන්ධයි අන්තිමට මං කිව්වේ අවුරුදු 7 විතර ඉඳලා ඉස්සරලා ජනතාව පටන් ගත්තේ. ඊළඟට එක එක නායකයෝ. පක්ෂ නායකයෝ, ඊළඟට සමාජ නායකයෝ. ඊළඟට අපේ පක්ෂෙ ඇමැතිවරුත් පණිවිඩ එවන්න පටන් ගත්තා.
ප්‍ර.
ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට්ටුවේ ඇමැතිවරු?
පි.
ප්‍රධානම ඇමැතිවරු පණිවිඩ එවන්න පටන් ගත්තා අවුරුදු 4ක ඉඳලා එක්කෙනා දෙන්නා අවුරුදු 3 ක් යනකොට සෑහෙන ගාණක්, අන්තිමට දහ පහළොස් දෙනා මට පණිවිඩ එවල කියනවා අපිත් එක්ක 62 ක් ඉන්නවා 62 ඊළඟට 40 වුණා. ඔහොම ඔහොම කොහොමහරි එන්ඩ එන්ඩ මැඩම් එන්ඩ මෙහෙ ඉඳන් අපිට කථා කරන්න බයයි. අපිව මරලදායි. අපි ඕන කියන පිටරටකට එන්නම්. මං ගියේ නැහැ. මං කථා කරෙත් නැහැ. මොකද මං එන්නෑ කියල තීන්දු කරල තිබුණ නිසා. ඉතින් මං උත්තර දුන්නෙත් නැහැ. බලමුකො බලමුකො කිය කිය හිටියා. පස්සේ මේකට අවුරුදු දෙකක් විතර වෙනකොට ඉල්ලීම තදබල ලෙස ආවා. මට බැන බැන පණිවිඩ එවන්න පටන් ගත්තා.
ප්‍ර.
දෝෂාරෝපණය කරලා?
පි.
දෝෂාරෝපණය කරලා, ඔබතුමිය මෙයාව ගෙනැල්ලා රට කන්ඩ දාලා ඊළගට දැන් ඔබතුමිය ද්‍රෝහි වෙනවා මේක විසඳන්න එන්නේ නැතිව අරකයි මේකයි කියල. අන්තිමට මං කිව්වා මම එන්නේ නැහැ. කවුරුහරි හොඳ කෙනෙක් හොයල මම ඉල්ලන විදියටම මම මහන්සිවෙලා වැඩ කරන්නම්. එතකොට ඔයගොල්ලො එනවද? කවුද එක එක්කෙනා කියල දන්නැතුව අපිට බෑ. ඔබතුමිය එනවනම් අපි බහිනව කෙළින්ම අරකයි මේකයි කිය කිය කිව්වා. ඉතින් කොහොමහරි අන්තිමට කවුද කියන කෙනා මම අවුරුදු 3කට ඉස්සෙල්ලා හඳුනාගත්තේ.
ප්‍ර.
කවුද ඒ කෙනා? එතැන් සිට කථාව කුමක්ද ?
ප්‍ර.
ගරු මැතිනියනි දැන් අපි කථා කරමින් සිටියේ මේ දේශපාලන කථිකාවත නැත්නම් මේ පැවැති රජයට එරෙහිව ජනමතය සකස්වෙච්චි ආකාරය සහ ඊට එහා තිරෙන් එහා පැත්තේ දේශපාලන නායකත්වය පෙළගැසුණු ආකාරය. ඔබතුමිය මේ අපට රටට කියන්නේ එහි මූලික නායකත්වය ලබාගන්න ජනතාවගේ සහ අදාළ අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල පීඩනයක් බලපෑමක් ඉල්ලීමක් තිබුණු බවද?
පි.
විශාල වශයෙන්ම. මට ඉන්න දුන්නේ නැහැ. අන්තිම අවුරුදු දෙකේ ඇත්ත වශයෙන්ම මට ඉන්න දුන්නේ නැහැ. හම්බවෙන හම්බවෙන තැන මුණගැහෙන මුණගැහෙන තැන දැන් ඔබතුමිය නේද එන්නෙ? එන්නැද්ද? කියල මට බනිනවා බෑ කියනකොට.
ප්‍ර.
අර අවුරුදු දෙකකට කලින් අපි තීරණයක් ගත්තා කියන කථාවත් එක්ක මම කැමතියි...
පි.
ඉතින් මගේ පැහැදිලි තීන්දුවක් තිබුණා මම ආපහු දේශපාලනයට ආයේ එන්නෑ කියල. කියන්නෙ මම තනතුරු ගන්නෙ නැහැ කියල. දේශපාලන භූමියට එන්නෙත් නැහැ කියල තිබුණේ. හැබැයි තත්ත්වය හුඟක්ම අනික් පැත්තෙන් ආණ්ඩුව එන්න එන්නම වැරදි කරනවා. මම ඇත්තටම ප්‍රාර්ථනා කෙරුව මහින්දගෙ ආණ්ඩුව යුද්දෙ දිනුවට පස්සෙ සහ එතුමා මැතිවරණයක් දිනාගත්තට පස්සෙ මොකද 2005 ඉඳන් 2010 වෙනකන් එතුමා මැතිවරණ දිනුවේ නැහැ. මම දිනල දුන්න ආණ්ඩුවක් එක්ක හිටියේ. ජනාධිපතිධූරය දිනුවෙත් 2005 වැඩිහරියක් මම හින්දා. මම කරපු වැඩ හින්දා අවුරුදු 10,11 ක් තිස්සේ. ඉතින් එතුමාගේ විහින්ම දිනාගත්තට පස්සේ ටිකක් තමා ගැන ආත්ම විශ්වාසයක් එයි. එතුමා එතකොටවත් හරියට කරයි කියල මම හිතුවා. එහෙම වුණේ නැහැ. එන්න එන්න අන්තවුණා මිසක්. ඉතින් එක පැත්තකින් රට විනාශ වේගෙන යනවා. අනික් පැත්තෙන් පක්ෂෙ විශාල වශයෙන් ක්ෂය කරල තිබුණේ අපේ මේ ඉතාමත් වැදගත් පක්ෂයක්. ඉතින් අනෙක් පැත්තෙන් මිනිස්සු හොඳටම ඉන්ඩම දෙන්නෙ නැහැ. පස්සෙ මං හිතුවා දැන් මට බැරිනම් මං කවුරු හරි හොඳ කෙනෙක් නම් කරගන්න ඕන. වටපිට බැලුවා බලනකොට ඔක්කොම පක්ෂවල මං එක එක්කෙනාගෙ නම් කියන්නේ නැහැ. දිනන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. මට පේන විදියට.
ප්‍ර.
ඒ කියන්නෙ හොඳ අශ්වයෙක් හිටියෙ නැහැ තරඟෙට දාන්න?
පි.
ඉතින් මම විතරක් නෙමෙයි අනික් මිනිස්සුත් කියන්නෙ යම් අයගෙ නම් කියනකොට එයාටනම් කීයටවත් දිනන්න බැහැ. එයා හොඳ කෙනෙක් නමුත් දිනන්න බැහැ. ඉතින් මමත් දන්නවා ඒක යම් කිසි තත්ත්වයකට ඇත්ත කියලා. දැන් මොකද කරන්නේ ඔයාට විතරයි දිනන්න පුළුවන් කිය කිය මට කියනවා. බලමුකො බලමුකො දිනන්න පුළුවන් වෙන කෙනෙක් හොයාගමුකො කියල අන්තිමට මං ටිකක් හිතනකොට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නම මගෙ ඔළුවට ආවා.
(සිරස ටීවී අනුග්‍රහයෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට එතුමා විනාඩි 19කින් නවත්තලා. මම උනානම් තවමත් බනිනවා. (නදී)
බලය තියනකොට කාටත් බනිනවා, ගහන්න යනවා. (නදී)
මහින්ද මහතාට ඕන වුනේ බණ්ඩාරනායක පවුලට උඩින් යන්න. ඕක තමයි මේ සාමාන්‍ය අපිටත් පෙනුන දේ පසුගිය කාලය පුරාම. තමන්ගේ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හුවා දක්වමින්, අත ලකුණ තියා ඒ ලකුණේ නිර්මාතෘගේ නමවත් කියවෙන්නේ නැති විදියට වැඩ කලේ. (නදී)
මට තේරුණ හැටියට,සමහරුන්ට නම ප්‍රසිද්ධ කරගන්න පසුගිය කාලයේ පුදුම උවමනාවක් තිබුනේ. (නි)
මට හිතෙන්නේ මේ සාකච්ඡාව ගැන අපි එතරම් කලබල නොවිය යුතුබවයි (නි)
කියන ඒවා විශ්වාස කරන්නත් බැහැ, අහක දාන්නත් බැහැ. ටිකක් බලපුළුවන්කාර කෙනෙක් වුණ නිසා මේ නෝනා පසුවහරි කිව්වා. අනෙකුත් සාමාන්‍ය මිනිසෙකුට ඒකවත් කරන්න බැහැ. (නි)
ඔබතුමිය දිගටම හිටියා නම් දැන් මොනවගේ තත්ත්වයක් පවතීද? (නි)
ෂෙහාන් , අපි දකුණු පළාතේ මිනිස්සු නිසා හොඳට දන්නවා සමහරුන්ගේ පවුල් වල පැටිකිරිය. නමුත් මෙතන ඒවා ලියා අපිත් ඒ තුට්ටු දෙකේ තත්වයට වැටෙන්නේ නැහැ. (නදී)
මෙතුමිය කියන දේ අසත්‍යම නැහැ. (නදී)
මොනව වුනත් මෙතුමිය දරුවන් පිළිවෙලට හදා වඩා ගත්තා. අන්න ඒකට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ. තමන්ගේ වෘත්තියකින් හරි හම්බ කරගෙන , රටේ සම්පත් ගසා කන්නේ නැතිව , සෙල්ලක්කාර ජිවිත ගත කරන්නේ නැතිව පිටරටකට හරි වෙලා ඒ ළමයින් ඉන්නවා නේ. අඩු ගානේ මාලිගාව ඉස්සරහ රේස් යවන්න සහ බාලිකා පාසල් වලට කඩන් පැනල ළමයින්ට නටන්න කතා කලේ නැහැනේ. අන්න ඒකට මම ගරු කරනවා. අනෙක් දේවල් කෙසේ වෙතත්. (නදී)
විනාඩි 19 කෙසේ වෙතත් මහින්ද මහතාගෙන් ඔය විදියට අප්‍රසිද්ධියේ බැනුම් ඇහුව කියන එක මම විශ්වාස කරනවා. (නදී)
විනාඩි 19 ක්? මගේ අම්මෝ! (නි)
අර වික්ටර් අයිවන්ගේ පොත කියවන්න (නදී)
විනාඩි 19 කින් මොනාද කියන්න පුළුවන්. හොඳටම මදි, තව බන්නින්නයි තිබුනේ (නදී)
මහින්ද පහුගිය චන්දෙට හැසිරුණ විදිහට මේ කතා ඇත්ත වෙන්න පුළුවන්. එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම් අහන්න දැනගන්න පුළුවන් වේවි. කොහොමුනත් ඔබතුමියගේ කැපකිරීම අගය කරනවා. (නදී)
මෙතුමිය අවුරුදු 10 ක් බලයේ ඉඳලා පෙන්නුවා වැඩ නොකර රට පාලනය කරන්නේ කොහොමද කියලා. (නදී)
මහින්ද නරක විදියට බැන්නා කියන එක විශ්වාස කරන්න පුළුවන් අනෙක් අයගෙන් පවා ඒ වගේ දේවල් ගැන කියවුන අත්දැකීම අනුව. ඔන්න රනිල් බැන්නා කිව්වා නම් පිළිගන්න බැහැ. මොකද එයාට බනින ටික හරි කරගන්න පුළුවන් නම් 29 වතාවක් පැරදෙන්නෙ නැහැනේ. (නදී)
මෙතුමිය කියන දෙය සම්පුර්ණයෙන්ම අහක දාන්න බැහැ. ඒ මොකද මහින්ද මහතා බලයට ආවම ඉස්සෙල්ලාම කලේ බණ්ඩාරනායක යන නම පුළුවන් තරම් රටේ මිනිස්සු අහන්නේ දකින්නේ නැති තැනට කටයුතු කිරීම. පරම්පරාගත ශ්‍රී ල නි ප පාක්ෂිකයන්ට මේ කාරනාව හොඳට වැටහෙනවා. (නදී)
අරලියගහ මන්දිරෙන් යන්න තව සතියක් කල් ඉල්ලපු කෙනෙක් ගැන මම අහල තියෙනවා. හිටි ගමන් යුද්දෙ නවත්තල අපේ රණවිරුවන්ගෙ අත පය අහිමි කරල රෝහල් වල වාට්ටු පුරවපු කාලෙකුත් තිබුනනේ. (නදී)
දැන් මෙතුමිය කියන විදියට වික්ටර් අයිවන්ගේ පොතේ තියෙන්නේ බොරුද ? කවුද බොරුකාරයා (නදී)
කියවන්න අර "වික්ටර් අයිවන් මහත්තයාගේ පොත. (නදී)
හිටපු ජනපති ප්‍රසිද්ධ වේදිකාවේ පසුගිය දවස් වල කථා කල ශෛලියේ හැටියට මේ නෝනාගේ චෝදනාව සම්පුර්ණයෙන් අහක දාන්නත් බැහැ. (නදී)
මේ රටේ ඉන්නේ තොත්ත බබ්බු කියලයි අද සමහරු හිතාගෙන ඉන්නේ.ඔබතුමිය කවුද, මහින්ද මහත්තයා කවුද, ඔබතුමිය මේ රටට කළේ මොනවද, මහින්ද මහත්තය කළේ මොනවද කියලා මේ රටේ මිනිස්සු දන්නවා. මහින්ද මහත්තයා පැරදුනත් පැරදුනේ බහුතරයේ බලය දිනලා.ඒ බහුතරයේ බලය බොහොම ඉක්මනින් ඔය ගැට ලිහාවි. (නි)
අතීතය ගෙවී අවසන් අනාගතය උදාවී නැත. ඔබ අද දිනු රට වෙනුවෙන් කරන දේ වැදගත්. 67 වසරක් රට කල සියලු දෙනා හදවතින් විමසිය යුතුයි (නදී)
මේ කියන්නේ ඇත්තද? දුරකතනයකින් අසභ්‍ය වදන් වලින් විනාඩි 19ක් බනිනකම් අහගෙන ඉන්න පුලුවන් කාටද? (නි)
අපිට නම් තිබෙන කැක්කුම සමහරු කළ වැඩවලට වැඩියෙන්ම බැනුම් අහන්න වෙලා තියෙන්නේ අහිංසකයන්ට වීමයි (නි)
ජයවේවා මැඩම් ජයවේවා (හේ)
අපි පොත බැලුවා (නදී)
ඔබ මහින්ද මහත්මා සමග දැඩි වෛරයෙන් නේද ඉන්නෙ? එතුමා නැත්නම් අද රටක් තියෙයිද? (නදී)
ඉවසංන්න මැඩම් කළ කළ දේ පල පල දේ/(හේ)
මගේ පෞද්ගලික මතයනම් අතීතයේ රට පාලනය කල විදායක නාදිපතිවරුන්ගෙන් රටට මතක හිටින දෙයක් කලේ ජයවර්දන, ප්‍රේමදාස සහ මහින්ද යන මහත්වරු විතරයි (නදී)
අපිට මතකයි හැමදේම... (නි)
එදා මහින්දට ජනාධිපතිවරණයට එක වචනයකින්වත් උදවු නොකර මොකට සුබ පතන්න ගියාද? (නි)
අපගේ මැඩම්ට ජයවේවා ......////(හේ)
ඔබ තුමියගෙනුත් රටට උන සේවයක් නැහැ. මහින්ද යුද්ධය දිනුවා හැරුනුකොට රටට කළ දෙයක් නැහැ (නදී)
සමහරු අද කතා කරන්නේ අලුත ඉපදුනා වගෙයි. මහින්ද මොන හොරකම කළත් රටට නිදහස උදාකළා. රටට අවශ්‍ය කුමක් හෝ කළා. (නි)
මට නම් විශ්වාස කරන්නත් අමාරුයි (නි)
මම නම් කුණුහරුප අහන්න හරිම ආසයි. (නි)
මෙතුමිය තමන්ගේ දරුවන්ට කියලා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා ලැම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ කාර් 7-8 ගුවනින් ගෙනවිත් දුන්නේ නැහැ.එහෙම ආසාවක් ඒ වැදගත් දරුවන්ට තිබුනෙත් නැහැ. (නි)
මේ බොරු තාමත් ඉවර වෙන්නේ නෑනේ .(දිල්)
කොහොම වුණත් මම පුදුම බියකින් හිටියේ මම අවුරුදු 5-6 මෙහෙ දුක්විඳලා හදාගත් මගේ "මන්දිරයත්" නැතිවෙයිද කියලා.එවැනි සිද්ධි ඕනෑතරම් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිද්ධවෙලා තිබෙනවා. (නි)
මම නම් හිතෙන්නේ නැහැ මේක ඇත්තක් කියලා.(හේ)
දැන් සැබෑ වෙනසක්?(හේ)
බණ්ඩාරනායකලා හොරකම් කරලා නැහැ.බණ්ඩාරනායකලා අනුන් සතු වත්කම් බලහත්කාරයෙන් පැහැරගෙනත් නැහැ.ඔවුන් තමන්ගේ දරුවන්ට වැදගත් විදිහට ජීවත්වෙන්න පුරුදු පුහුණු කරලා තියෙනවා. (නි)
ඇත්තටම වැදගත් කතාවක්.(හේ)
ඉතින් සමහරු අවුරුදු ගණනාවක්ම මහින්ද මහත්තයාටනේ බැන්නේ (දිල්).
දැන් ඉතින් හැමෝම වැරැදි කියයි (දිල්)
සෑම හිටපු ජනාධිපති කෙනෙක්ම අඩු වැඩි වශයෙන් රටට වැඩක් සේම අවැඩක් කර තිබෙනවා . ඒකයි ඇත්ත (දිල්)
වැදගත් ලිපියක්.(හේ)
හිටපු ජනපතිත් එක්ක බැලුවහම නම් මෙයාලා රට මංකොල්ල කෑවේ නැහැ. මෙයාල පරම්පරාගත වලව්කාරයෝ. මැයටත් සැබෑ ජනමතයක් ගොඩ නැගුනා. නමුත් ජනතාව බලපොරොත්තුවු අරමුණු පුර්ණ ලෙස ඉටුවුණේ නැහැ. පැවැති වත්මන් තත්වය අවබෝධකරගෙන අප වෙනුවන් නව වෙනසකට මුල පිරු ඇයට අපේ උපහාරය!(දිල්)
මේ කළ සේවයට ඔබතුමියට ප්‍රණාමය.(හේ)
මේ කියන්නේ ඇත්තමද?(හේ)
හොදම අපේක්ෂකයා තමයි දැම්මේ. ඔබතුමියට එකට අපේ ආචාරය .හැබැයි ඔබතුමිය තරග කලානම් මහින්ද මහතා අදත් ජනපති.(හේ)
අපේ මැඩම් රජවේවා! (නි)
දැන් ඉතින් මොනවා කියන්න බැරිද?(හේ)
අපගේ රැජිණ ඔබයි මැඩම්......!!! (නි)
මේ ගැන අපි දන්නවා.(හේ)
අපේ රටේ හැම ආණ්ඩුවක්ම හොරකම් කළා. හිටපු ජනාධිපති මහින්ද කළ වැඩ ටිකෙන් බාගයක්වත් අනෙක් සියළු ජනාධිපතිලාට කරන්න බැරිවුණා. ඒක තමා ඇත්ත. (නි)
ඔබතුමිය කිව්වා කතාව සම්පූර්ණ සත්‍යයක් . (හේ)
බලනකොට සමහරුන්ගේ සැබෑ ස්වරූපය මතුපිටින් පෙනෙනවාට වඩා ගොඩක් වෙනස්නේ! (නි)
ඔබතුමිය කිව්වා කතාව සම්පූර්ණ සත්‍යයක් . රට ගැන හිතුවට පින්. (හේ)
චන්ද්‍රිකා බණඩාරනායක මැතිනියට ලෝකයේ ඉතා ඉහළ තැනක් තිබෙනවා. මෙතුමිය ප්‍රංශයට ආවිට ප්‍රංශයේ සිටිනා බොහෝ මැති ඇමතිවරුන් මෙතුමිය මුණගැසීමට එන බව මම දැක තිබෙනවා (නි)
මිනිත්තු 19ක්? ඔය අංකය අපිට දෙන්නකෝ... (නි)
අනේ! පටලවාගන්න එපා. මේ කියන්නේ ඇත්ත. (නි)
මේ රටේ ඉන්නේ තොත්ත බබ්බු කියලයි අද රටේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ (නි)
මේ ඇත්තටමද කියන්නේ? බලමුකෝ අපි ටිකක් (නි)
මහින්ද මහතා යුද්ධය නවත්වපු එක ගැන අපි සතුටු වුණත් මේ ලිපිය කියවද්දී නම් ඇතිවුණේ කළකිරීමක් (නි)
සම්පුර්ණයෙන්ම නොවුණත් මම 90% ක් මේ දේවල් පිළිගන්නවා (නි)
පළිගන්න දක්ෂ බව ෆොන්සේකා මහතාට කළදෙයින්ම පේනවනේ. (නි)
මෙහෙම කතා කරන්නේ කොහොමද මන්දා? (නි)
මම නම් කියන්නේ කොහොම වුණත් මහින්ද මහතා නැතිවුණොත් පක්ෂයට අනාගතයක් නැහැ.ඊළඟ මැතිවරණයෙන් බලාගන්න පුළුවන්. (නි)
විනාඩි දහ නවයක් බනිනකල් ඔබ තුමිය අහ ගෙන හිටිය එක නේ පුදුමේ . වෙලාවත් බලාගෙන ඉදලා තියනවා,වෛරයෙන් දේශපාලනය කරන්න එපා.එකෙන් රිදෙන්නේ ජනතාවට.කොහොම වුනත් මහින්ද මහත්තයව අහක දාන්න බැහැ. එතුමා අතින් ජනතාවට විශාල සේවයක් වෙලා තියනවා.(දිල්)
අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
බලාගෙන ගියාම තරහක් පිරිමහගත්තා වගේ වැඩක්නේ. රට ගැන හිතලා නැහැ එහෙම බලනකොට. (නි)
රටක නායකයෙක් රට බේරා ගත යුතුයි. (දිල්).
අමතක කරලමු පරණ කතා එක්වෙමු ජාතික දියුණ පතා (දිල්)
බැනුම් අහන්නේ නැතිව තියන්න තිබුණනේ ෆොන් එක (දිල්)
ඔබ තුමිය බොරු කියන්න එපා. ආරක්ෂාව කවදාවත් අයින් කළේ නැහැ. මොකද මගේ සහෝදරයා ඔබ තුමියගේ ආරක්ෂක සේවයේ අවුරුදු 14 ක් වැඩ කලා (නදී)
අපි මැරිලා ඉපදුනේ නම් නැහැ (නි)
මේවා බොරු වෙන්න බැහැ. (නි)
රදළ පැලන්ති වල ජන්මගති වෙනස් කරන්න බැරි බව ඔය කතා වලින් නැවතත් තහවුරු කර තිබෙනවා (නි)
බොරු කියන්න දන්නෙම නෑ නේද ? (නදී)
මම අනෝමාගේ කීමට සම්පුර්ණයෙන් එකඟ වෙනවා. (නි)
ගහ දන්නා අපිට කොළ කඩා පානවා කියල කියන්නේ ඇයි කියල කව්රු හරි ප්‍රශ්න කොලොත් මේ සංවාදය ඊට හොඳ උදාහරණයක්. එහෙම නේද සන්නස්ගල ගුරුතුමනි (නදී)
අනුකම්පාව ගන්න අවශ්‍ය නැහැ.ඇත්ත ඇති සැටියෙන් කතා කළා නම් හොඳයි.ඉතිහාසය ගැන දන්නෝ දනිති. ගහදන්නා අපිට කොළ කඩාපාන්න අවශ්‍ය නැහැ.මහින්ද මහත්මයාට කට පුරා තාත්තේ කියා වුණත් කතාකරන්න පුළුවන්.එතුමා ඒ තරම්ම තෙත් වූ හදවතක් ඇති මහත්මයෙක්. විනාඩි 19ක් තිස්සේ ඕක කණේ තියාගෙන හිටියටම තෑග්ගක් දෙන්න එපායැ. (නි)
මේ සියල්ල හරියට හරි (නදී)
මෙයාට මොනවා වෙලාද මන්දා (නදී)
මහින්ද පැරදුනේ බහුතරයක් දිනලා කියලා සමහරු උදම් අනනවා. චන්ද්‍රික නම්බුව පිටින් ව්‍යවස්ථාවට අනුකුලව දෙවතාවෙන් ගෙදර ගියා. (දිල්)
කෙනෙක් දේශපාලනයට එන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්නනේ. නමුත් පසුව සිදුවෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්න ගොඩ ගැසීමයි. එහෙම වෙන්නේ බලයට තන්හාවට ඔවුන්ගේ තිබෙන කෑදර කම නිසයි. එලෙසින්ම ඔවුන් ඔවුන්ගේ සීමාන්තය ඉක්මවා කටයුතු කිරීමට පෙළඹෙනවා. ඔවුන් බලය ලබාගත් පසු හිතන්නේ ඔවුන්ට නොකළ හැකි දෙයක් නොමැත කියාය. දේශපාලකයා තමන්ට ලැබී තිබෙන රාජකාරී රාමුවේ ඉඳගෙන කටයුතු කිරීමට පමණක් උත්සුක විය යුතුයි. (නදී)
මෙතුමිය එදා බොරු කිව්වෙත් නැහැ. අද බොරු කියන්නෙත් නැහැ. මහින්දව අතින් අල්ලා ගෙන ඇවිත් ජනපති කරවූ බවත් සහතික ඇත්තක් වෙන්න ඇති. හැබැයි 2005 දි මුුළු රටම දැක්කා මහින්ද මහත්තයගෙ කකුලෙන් අදිනවා. (නදී)
මැඩම් ඔබට ජයවේවා (දිල්)
මෙතුමිය කියනවා 2005 පක්ෂයේ අය කිවලු ව්‍යවස්ථාව වෙනස් කරලා නැවත ඉදිරිපත් වෙන්න කියලා. (නදී)
මෙයා කරපු දේකට නෙවෙයි මහින්ද දින්නේ, උතුරේ ඡන්දය වර්ජනය කළ නිසා. (නදී)
මම නම් කෙනෙක්ගෙන් කුණුහරුප එක විනාඩියක් අහගෙන ඉන්නේ නැහැ. (නි)
මේ දිනවල ඇසෙන පෙනෙන දේ අනුව කිසිම කෙනෙක් රටේ ජනතාව ගැන කතා කරනවට වඩා තමතමන්ගේ දුක් ගැනව්ලි ගැන අදෝනා කියනවා. ඒ සියලු දේවල් වලින් පෙනෙන්නේ රටේ සේවයට වඩා තමන්ගේ බලය අරගන්නයි. රටට සේවය කිරීමට නම් පුද්ගලික මතවාදී අදහස් ඉවත් කර රට වෙනුවෙන්ම කැපවෙන්න (දිල්)
දිවට නෙමෙයි හදවතට එකඟව කතාකරන්න. (නි)
ලංකාවේ මිනිස්සු දන්නවා මැඩම් කවුද,මහින්ද කවුද ,මොනවද රටට කළේ කියලා (නි)
අනේ මන්දා ඉන්න කාලෙ වැඩක් කලා නම් කොච්චර හොඳද. මොනවා උනත් වැරදීමෙන් හරි හොද කෙනා පත් කරල තියෙන්නේ. (නදී)
මෙම සංවාදයේ තියෙන බොහෝ දේ මන් පිළිගන්නවා. ඒකට හේතුව මං බණ්ඩාරනායක පවුලේ ළඟම හිතවතෙක් මුණගැහිලා චන්ද්‍රිකා මැතිණියට නැවතත් දේශපාලනයට එන්න හොඳ අවස්ථාවක් ඇවිල්ල තියෙන නිසා අපි එතුමියට යෝජනා කරොත් හොඳයි නේද කියල ඇහෙව්වා. එතකොට එම හිතවතා මෙහෙම පිළිතරු දුන්නා "මන් ගිය සුමානේ එංගලන්තයට ගිහින් එතුමියට යෝජනා කලා, නමුත් දරුවෝ එක හෙළාම යෝජනාවට විරුද්ධ උනා. ට ලංකාවේ විද්වතුන් විසින් කරපු සමීක්ෂණයක වාර්තාවක් පෙන්නුවා. ඒත් යසෝධා දියණිය කිව්වේ අම්මට අායෙත් දේශපාලනයට යනවට තදින්ම විරුද්ධ වෙන කථාවම තමා " එසේ කියන ගමන් සමීක්ෂණ වාර්තාව මටත් පෙන්නුවා. දේශපාලනයෙන් විශ්‍රාම ගිය එතුමිය සියළු දේශපාලන ක්‍රියාකාරීන් අබිහිබවමින් පෙරමුණේ සිටියා. ලක්ෂ 12ට කිට්ටුවෙන්න මහජන ප්‍රසාදය එතුමියට තිබුණා. උදේ හවස ජනතාව සමග නිබඳව රැඳී මහින්ද මහතා සිටියේ හුඟක් පසුපසින්. මට මේ කථාව කියපු කෙනාගේ නම මන් නොකියන්නේ එ්ක සදාචාරාත්මක නොවන නිසා. මං වගේම අපි කව්රුත් ආදරය කරණ බණ්ඩාරනායක පවුලට ලැදී අවංක අදත් රටේ වැදගත් අමාත්‍ය ධුරයක් දරණ ක්‍රීඩාවට දක්‍ෂ කාටවත් බය නැති, ගම්පහ පැත්තේ මැතිතුමෙක්. ඔන්න එක කරුණක් මං පැහැදිලි කෙරුවා. (නදී)
කටුනායක බණඩාරනායක ජාතියන්තර ගුවන් තොටුපොළේ ඉද ගන්න තිබුණු පුටු ටික පවා මත්තලට ඇදගෙන ගිහින්.අපිට බිම එදගන්නයි සිද්ද වෙලා තියෙන්නේ.තව මොනවා කතා කරන්නද?(හේ)
බණ්ඩාරනායකලා කියන්නේ තමන්ගේ වත්කම් ජනතා සතු කරපු ශ්‍රේෂ්ට ගෞරවනිය මිනිස්සු.අනිත් අය වගේ අසරණ මිනිසුන්ව ගසා කාල කෝටි ප්‍රකෝටි පතියන් වුන මිනිස්සු නෙමෙයි.(හේ)
මෙයා බලයේ ඉන්න කල් පසුගිය අවරුදු දාහතේ වැරදි කියා කියා හිටියා දැන් අායෙත් පටන් අරන් වගේ (නදී)
රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බැහැනේ , වෝටර් එඩ්ජ් නිවාස ගැන කොහොමද, ඒ මල්ලත් ලිහල බැලුවානම් හොඳට තියෙයි (නදී)
ලිබියාවේ ඒකාධිපති ගඩාෆිට වගේ පැය 24 රෙන් උත්තර නුදුන්නු වරදට කවද හෝ දවසක සමස්ත ජනතාවටම විදවන්න සිද්ධ වෙනවා.(හේ)
දැන් ඉතින් මොන වගේ අයද කියල ඉතාම පැහැදිලියි නේද? (නදී)
චන්ද්‍රිකා කියන කතා විස්වාස නම් නැහැ. කෙනෙහිලි කම් නොතිබුනා කියන්නත් බැහැ. නමුත් නීතිය, සාධාරණත්වය, අගයන සැමට තිබුනා මේ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක්. (නදී)
කොහොම හරි රට නිදහස් කර දුන්නට ඔබ තුමියට පින් සිද්ද වෙනවා. (නදී)
මුලු මහත් ජනතාවක් රැවටීමට ප්‍රථම ටිකක් සිතා බැලුවොත් හොඳයි. (නදී)
තවත් අවරුදු 6 කට දුන්නා නම් අපිට හිඟා කන්න වෙන එක නම් ඉර හද වගේ විස්වාසයි. දැනටම රුපියල් කෝටි වලින් ලක්ෂ 120 ක් ගසා කාලයි තියෙන්නේ කියල අන්තර්ජාලය පෙන්වල දෙනවා. (නදී)
අනේ පවු නේද? (නි)
නිලූක,දැන් ඉතින් මොනවා කියන්න බැරිද? (නි)
අපි මොන දේශපාලන මතවාදය දැරුවත් මහින්ද කියන්නේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ චරිතයක්. එවැනි සේවයක් කරන්න පුළුවන් මිනිස්සු රටට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. විවේචන තියෙනවා. ඒත් ඇත්ත ඒකයි.(දිල්)
යහපාලනයට පළිගැනීම ගැළපෙන්නේ නැහැ (නි)
අනේ මෙහෙමත් බොරු . රටේ මිනිස්සු මේවට පිළිතුරු දේවි ඉදිරියේදී .(දිල්)
මම නම් කියන්නේ මේක ඇත්තක් (නි)
ඔබතුමිය ගැන අපි හොදට දන්නවා. මොකද ඔබතුමියව පත්කර ගත්තෙත් අපිම නිසා. (නි)
අසභ්‍ය වචන කතාකිරීම හා අත පයෙන් කතා කිරීම සම්බන්දයෙන් කීප අවස්ථාවකදීම සිදුවූ සිද්ධීන් පිළිබද ලිපි දැක ඇත. කෙසේ උවත් "ලොකු අතුලගේ" මරණය පිලිබදවත් සත්‍ය හෙළි වුයේ නැත. (නදී)
සම්පූර්ණ ඇත්තනේ මෙතුමිය කියන්නේ. මෙයා ඉල්ලුවා නම් ලක්ෂ 65ක් නෙමෙයි, ලක්ෂ 100ක් අරගන්නවා ෂුවර් එකටම. යුද්දයම බලන්නකෝ, එකෙන් 75% ක් ඉවරකළේ මෙයා, පැකේජ් එක ගෙනාවේ මෙයා, රජයේ දේවල් වැඩි හරියක් වික්කේ මෙයා (නදී)
ඔය කොයි කිල්ලෝටෙත් එකයි (නදී)
මිනිත්තු 19ක් කුණුහරුපෙන් බනිනකන් හොඳට අහගෙන ඉඳලා. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න. (නදී)
අනේ අපි නොදන්නවා ද මෙයා ගැන (නදී)
පොන්සේකා මහත්මයාගේ කෝට් ගැලෙව්වේ දේශපාලකයෝ දෙන්නෙක්ගේ සාක්කියටනේ. (නදී)
නාමල් ,අපි බලාගෙන ඉදිමු .මෝඩයන්ට අවබෝදය ලැබෙන තුරු.(හේ)
මෙයා ඉන්න කාලේ කිසිම දෙයක් හරියට කළේ නෑ. කොටි හැමතැනම බෝම්බ පිපිරුවා. යුද්දේ හරියට කළේ නෑ. කැබිනට් එකේ අයට 'යේස් මඩම්' කියනවා හැරෙන්න කිසි දෙයක් කියන්න දුන්නේ නෑ. රටම දන්නව ඇත්ත මොකක්ද කියලා. මහින්ද එයාගෙම අතින් බෙල්ල මිරිකගත්ත මිසක් මෙයාලගේ හපන් කමක් නෙවෙයි. (නදී)
දැන් ටිකක් පැත්තකට වෙලා ඉන්නකෝ. ඒ කාලේ අපිට හොඳට මතකයි (නි)
අතීතය මිනිසුන්ට මතකයි නෝනේ. (නි)
එක හොඳක් වුණා. මහින්ද පුටුවට පැමිණි නිසා තමයි අද රටක් තියෙන්නේ. (නි)
අපිට ඔබතුමිය ගැන ඇති මතය කුමක් වුවත් බණ්ඩාරනායක මහතා මේ රටට කළ සේවයට අපි සැමදා ගරුකරනවා (නි)
මෙයා ගැන අපි දන්නවා . ඒ නිසා දැන් දුක්ගැනවිලි නැතිව රට දියුණු කරන්න මහන්සි ගන්න. නැත්තම් ජනතාව කාවවත් විශ්වාස කරන්නේ නැතුව ඉදියි (දිල්)
විනාඩි 19 බනිනකන් මොකද කළේ.(හේ)
අපෝ! අපි නොදන්නවායැ? ඔක්කොම වැරදි දැන් මතක්වෙලා තියෙන්නේ. (නි)
මේ කතාව පැත්තකට දැම්මත් ඇත්ත අපි දන්නවා. (නි)
මුල අමතක අයට කොහොමත් බලය හැමදාම තියාගන්න බැහැ. මහින්ද මහතාට සිදුවුණේ ඒකයි. (නි)
සමාජයේ ජීවත් වෙනකොට, යහපත් සිරිත් විරිත් සහ හැසිරීම් වලට තමන්ගේ මුල් පවුල් පසුබිම සහ යහපත් දෙමව්පිය මග පෙන්වීම් බලපානවා. සමහර අයට කොච්චර උස් තැන් වලට ගියත් ආරේ ගුණ නෑරේ කියන්න තමයි වෙන්නේ. (නදී)
දැන් නැතිව එතකොට කිව්වා නම් අර සමහරුන්ට වගේ උන් හිටි තැනක ලිපිනය සොයා ගන්න බැරි වෙන බව කවුද නොදන්නේ ? (නදී)
මෙයලා දැන් බබාලා වගේ කතා කරනවා. 2005 රට බෙදෙන්න ඔන්න මෙන්න කියලා තිබුනේ. අපේ හිතට ගතට දැනෙන්න යුද්දේ ඉවර කරලා රට සංවර්දනය කරගෙන ගියේ. මහින්ද කරගෙන ගිය විදිහට තව අවුරුදු 5 මහින්දට රට කරන්න දුන්නා නම් ලෝකයේ දියුනු රටවල් ගානට අපේ රට පත් වෙනවා. ආයෝජකයින් දහස් ගනනින් ඇවිත් රට සංවර්දනය උනානම් රැකියාවක් කලත් නොකලත් ලංකාවේ පුරවැසියන්ට ලොකු පඩියක් ලැබෙනවා. එ්ක නවතන්න තමයි කුමන්ත්‍රනය කරලා පරාද කලේ (නදී)
පක්ෂයේ නිර්මාතෘන් ගැන කතා කරන එක පවා නවත්තපු බව අපි දන්නවා. බලනකොට පක්ෂයට සහ රටට ඔක්කොම දේවල් කරලා තියෙන්නේ අරයාගේ පවුලේ සහ පරම්පරාවේ උදවිය (නදී)
අපි දන්නා විදියට නම් ඔය කට හොඳ නැති කම්, නොහොබිනා වචන යනාදිය සඳහා තමන් හැදුනු වැඩුන පවුල් පරිසරය බල පානවා. මේ ලියන මට උනත් කාට උනත් ඒ ටික එහෙමම තමයි. (නදී)
මෙහෙමත් දේවල් (නදී)
හතර වටේට ඉඳගෙන රට ගසා කන අයට ඉඩ දීලා, රටේ සම්පත් අයතා විදියට පරිහරණය කරගෙන , බලය අපහරණය කරමින් , නීතිය අවනීතිය කරගෙන සුල්තාන් වගේ ඉන්නකොට ද ඔය කියන හැටියට චීනයටත් සිංගප්පුරුවට උඩින් යන්න අපිට ලැබෙන්නේ. (නදී)
ඔය කට හොඳ නැති කම ගැන නම් කියන්න තියෙන්නේ කුඩල්ලා මෙට්ටේ තියන්න බැහැ කියන එක තමයි. උගත් වැදගත් පවුල් පරිසර වලින් දේශපාලනයට ආපු උදවිය දිහා බලල අපිට ඒ වෙනස කියන්න පුළුවන්. (නදී)
නාමල් කතා කරන්නේ අපි කේතුමතී රාජධානියේ හිටපු විදියට නේ. එහෙම නම් ඔය කියන කුමන්ත්‍රණයට පොදු අපේක්ෂකයාට ඡන්දෙ දුන්න ලක්ෂ 62 ක ජනතාවත් සම්බන්ධ ඇති. ඔය වගේ සුරංගනා කතා කියලා සංවර්ධනයට බොරු සංඛ්‍යා ලේඛන පෙන්නලා ජනතාව මුලා කල කාලේ ඉවරයි නාමල්. (නදී)
මම මේ සාකච්ඡාව චැනල් එකෙන් බලාගෙන හිටියා. අගක් මුලක් හොයන්න බැරි වාක්‍ය ගොඩක්. සාරාංශය හැටියට තිබුනේ තමන් මහින්ද මහත්තයට බලය ලබාදුන්නා ඒක ගත්තට පස්සේ ඔහු තමන්ට පහර ගහන්න උනා කියන එක විතරයි. මේ සාකච්ඡාවෙන් ජනතාවට වැදගත් වන කිසිවක් තිබුනේ නැහැ. (නදී)
තමන් ප්‍රභූ පවුල් පරිසරයේ යයි බොරුවට පෙන්නුම් කරන කෙනෙකුගේ සහ ඇත්ත ප්‍රභූ පවුල් පරිසරයේ හැදුන කෙනෙකුගේ වෙනස අඳුන ගන්න එක ක්‍රමයක් තමයි අප්‍රසිද්ධියේ සහ පුද්ගලිකව මිනිස්සුන්ට කතා කරන විලාශය. මම නම් මේක අත්දුටු සත්‍යයක්. (නදී)