ඉන්දියා පාර්ලිමෙන්තු මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝඩි ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුභ පැතුම් එක් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.

දුරකථනය ඔස්සේ මෝඩි ඇමතූ ජනපතිවරයා අවසරයක් ලද වහාම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන්නයැයි ආරාධනයක්ද කළේය.

නරේන්ද්‍ර මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ලද මේ ජයග්‍රහණය ශී්‍රලංකාවට සුභවාදී වනු ඇතැයි රජය අපේක්ෂාවෙන් සිටී.පෙර තිබූ කොංග්‍රස් රජය හා ශී්‍රලංකාවේ සබදතා ක්‍රමයෙන් බිද වැටෙමින් තිබූ තත්ත්වයක් පැවතුනු අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලීන් 2 කට සහය පළ කිරීමටද එවක ඉන්දියාව කටයුතු කළේය.

විදෙස් කටයුතු හා විදෙස් සබදතා පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ මෝඩි ප්‍රමුඛ ඉන්දියාවේ නව රජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තීරණාත්මක වනු ඇති බවයි .නව රජය හා සමිීප සබදතා දැන් දැන්ම ගොඩනගා ගැනීමට ශී්‍රලංකාව කටයුතු කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දේ.

මෝඩි හා ශ්‍රී ලංකා ජනපතිවරයාගේ දේශපාලන දැක්මේ සමානකම් රාශියක් ඇතැයි කියන ඔහු දෙදෙනාගේම දේශපාලන දැක්ම පිහිටා ඇත්තේ ජාතිකත්වය මත පදනම්ව නිසා දෙදෙනා අතර හොද අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතු මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට ඉඩ ඇති බවත් පවසයි.

මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට හොද වාතාවරණයක් පැවතියද ඇතැම් පාර්ශවයන්ගේ ක්‍රියාකාරකම් නිසා නායකයින් දෙපළ අතර විශ්වාසය පළුදු වීමේ ඉඩක්ද ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක අනතුරු අගවයි.හිටපු අගමැති මන්මෝහන් සිං ට වඩා මෝඩි ශ්‍රී ලංකාවේ හැසිරීම හා කටයුතු සම්බන්ධයෙන් වඩා විමසිලිමත්වනු ඇතැයිද ඔහු කියයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් අතට හරවා ගැනීමට මෙය හොද අවස්ථාවක් බවත් කෙසේනමුත් සියල්ල තීරණය වනු ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවේ නව රජය හා ගනුදෙනු කිරීමට යන ආකාරය මත වනු ඇති බවත් ආචාර්ය දයාන් ජයතිලක පවසයි.