පසුගිය රජය සමයේ  සිදු  වු  බව කියන බරපතල ප්‍රශ්න සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා  බරපතල දුෂණ හා වංචා  විමර්ශන කොමිෂම හමුවට  බදාදා (23) කැදවනු  ලැබ සිටීයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේ, බරපතල වංචා  සහ දුෂණ පිළිබඳ විමර්ශන ජනාධිපති  පරික්ෂණ කොමිසම හමුවේ  බදාදා (23) පෙරවරු 9  ට  පෙනී  සිටින ලෙස   ඔහුට දැනුම්  දී  ඇතැයි  කොමිසම් ආරංචි කියයි.

ජනාධිපතිවරණ සමයේ හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනි සේවය ඔස්සේ  ප්‍රචාරය කිරිමට ගිවිසගත් රුපියල් කෝටි දහයකට  අධික දැන්වීම්  ප්‍රචාරය කර  ඇති බවත්  ඒ වෙනුවෙන්  ගෙවිය යුතු මුදල්  නොගෙවිම නිසා  ස්වාධින රූපවාහිනියට  පාඩු සිදුවීම ගැන  කරන පරික්ෂණ සඳහා  ප්‍රකාශ ගැනීමට  ඔහු කොමිසම හමුවට  කැදවීමට  පියවර  ගත් බවත් දැනගන්නට ඇත.

ස්වාධින රූපවාහිනි සේවයේ  විගණන අංශය විසින් කරුණු අභ්‍යන්තර  විගණනයකදී 2014 නොවැම්බර් 24 වැනි දා සිට 2015 ජනවාරි  05 වැනි දා  අතර  කාලයේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  දැන්විම්  පළ කිරිමට  ගිවිසගෙන තිබී  ඇති  අතර  ඒ සඳහා  රුපියල්  62,639,600  ක්  ගෙවා ඇති  බව එම පරික්ෂණයේ දී  හෙළි වී  තිබිණි.

ඒ දැන්වීම් වලට අමතරව  රුපියල්  101,773,058 ක් ස්වාධින රූපවාහිනි  නාළිකාවක  ඔස්සේ විකාශනය කර   ඇතැයි ද මෙතෙක්  ඒ  මුදල්  ගෙවා නැතැයි ද විගණන පරික්ෂණයේ දී  සොයාගෙන ඇත.

මීට  අමතරව රුපියල් 44,678,812 ක දැන්වීම්  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන්  ස්වාධින රූපවාහිනිය ඔස්සේ  විකාශනය කිරිමට  ගිවිසගෙන සිටියත්  ඉන් විකාශනය කර ඇත්තේ  රුපියල් 2,647,812  ආසන්න දැන්වීම් බවත්  ඉතිරි  මුදල සිරිසේන මහතාට  ගෙවීමට සිදුව ඇති  බවද පෙන්වා  දෙන විගණන වාර්තාව එලෙස ආපසු  මුදල් ගෙවීමට  සිදුවිම  මගින් ද ස්වාධින රූපවාහිනියට  පාඩු සිදු වී  ඇති  බවත් සඳහන්  කරයි.

එමෙන්ම රාජපක්ෂ මහතාගේ  දැන්වීමක්  ප්‍රචාරය කිරිමේදී  අය කළ මුදල හා සැසඳීමේදී  සිරිසේන මහතාගේ  දැන්විමක් ප්‍රචාරය කිරිමේ දී රාජපක්ෂ මහතාගේ  දැන්වීම් සඳහා  ගත් කාලයට  බෙහෙවින්  අඩු මුදලක් අයකර  එමෙන් දෙගුණයක් සිරිසේන මහතාගේ දැන්වීම් වලින් අයකර  ඇතැයි  ද විගණන වාර්තාව පෙන්වා  දෙයි.