(බී.ජී. චතුරංග)

රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් යතුරු පැදියක්  සොරකම් කර එහි එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර "ෆේස්බුක්" සමාජ මාධ්‍ය හරහා අඩු මුදලකට විකුණූ කාර්මික විද්‍යාල සිසුවෙකු සහ සොර බඩු බව දැන දැනත්  එම යතුරු පැදිය  මිලදී ගත් ගිලන් රථ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි,  කාර්මික  විද්‍යාලයක මෝටර් රථ කාර්මික  පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටින  18 හැවිරිදි සිසුවෙකු  සහ මෙරට ප්‍රසිද්ධ ගිලන් රථ සේවයක  සේවයේ නියුතු  වාරියපොළ ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

අනුරාධපුර නගරයේ හෝටල් පාසල ආසන්නයේ නවතා තිබුණු එෆ්. ඉසඩ් වර්ගයේ යතුරු පැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ලැබුණු  පැමිණිල්ලකට  සිදු කළ  දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර කාර්මික විද්‍යාල සිසුවා මෙම යතුරු පැදිය සොරා ගෙන එහි එන්ජින් අංකය සහ චැසි අංකය ඔහු විසින්ම සූක්ෂම ලෙස මකා දමා, එම යතුරු පැදිය විකිණීම සඳහා  ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර  165000 ක මුදලකට  විකුණා තිබූ  බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් යතුරු පැදියක්, අඩු මුදලකට විකිණීම, එන්ජින් අංක සහ චැසි අංක නොමැති වීම බව දැන දැනත් එය මිලට ගත් ගිලන්රථ සේවකයා පොලිසියට හසු නොවන පරිදි  වෙනත් යතුරු පැදියක අංක තහඩු සවිකර  ධාවනය කර තිබූ බව පොලීසිය සඳහන් කළේය.