( පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ප්‍රදේශයට අද දවසපුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අනතුරට ලක්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය වසරෙහි අධ්‍යාපනය ලැබූ කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි. ඔහු තමන් පදිංචි නිවස ආසන්නයේදීම මෙම අනතුරට ලක්වී ඇත.
පාසල නිම වීමෙන් අනතුරුව නිවසට යාම සඳහා පාසලේ සිට ජයන්තිපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය කියයි.
කුරුණෑගල බණ්ඩාරනායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනට වීමේදී ලිස්සා ගොස් ඔහු ඇල මාර්ගයට ඇද වැටී ඇති බව කියයි. ජල මාර්ගයේ ගසාගෙන ගොස් ඔහු බෝක්කුව තුළ සිරවී ඇත.
අඛණ්ඩව කුරුණෑගල ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැළෙන අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගලා බසින ඇල මාර්ගය පිටාර යමින් ජලය ගලාගෙන ගොස් ඇත. මේ හේතුවෙන් මාර්ගය ඇතුළු අවට ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගොස් තිබූ බව කියයි.
පසුව කුරුණෑගල පොලීසියේ සහ ඒ ආසන්නයේම පිහිටි වැහැර යුද හමුදා කඳවුරේ සෙබළුන් එක්ව බැකෝ යන්ත්‍රයක් යොදා බෝක්කුව කඩා ඉවත් කර ඉමහත් වෙහෙසක් දරා බෝක්කුව තුළ සිරවී සිටි ශිෂ්‍යයා පැයකට පමණ පසුව මුදාගෙන ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.
අනතුරට ලක්ව සිටින ශිෂ්‍යයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් තත්වයන්ට මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල මහ නගර සභාව වගකිව යුතුයි...