(මහින්ද නිශ්ශංක )

අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවකට පස් කඳු කඩා වැටීමෙන් සහ ජලය යටවීම හේතුවෙන් අද (25 )රාත්‍රියේ ධාවනය වීමට නියමිත කොළඹ -බදුල්ල ,බදුල්ල- කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙකද පෙරවරු9:45ට කොටුවෙන් බදුල්ල බලා යන දුම්රිය ද ඇතුළු දුම්රිය කිහිපයක්ම අද (25 )දින අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙයට අමතරව පෙරවරු 10:40 ට කොටුවෙන් මහනුවර බලා යන දුම්රිය සහ පෙරවරු 12:40 ට හැටන් බලා යන දුම්රිය ද අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියකු පැවැසීය.

අධික වර්ෂාව නිසා මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී ඇති අතර උලපනේ, පිළිමතලාව, ගෙලිඔය, ගම්පොල, බලන , පේරාදෙනිය මහයියාව ඇතුළු ප්‍රදේශ රැසක දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී ඇතැයි ද එම නිලධාරියා කීය.

මේ අතර ගනේවත්ත සහ නාගොල්ලාගම අතර දුම්රිය මාර්ගයට ගසක් සහ විදුලි රැහැන් ආවරණයක් කඩා වැටීම හේතුවෙන් අනුරාධපුරයේ සිට මාතර බලා යන රජරට රැජින දුම්රිය පැය එකහමාරක පමණ ප්‍රමාදයක් සිදුවී ධාවනය වූ බව ද දුම්රිය පාලන කාර්යාලය පවසයි .