(අංජුල මහික වීරරත්න)

එළැඹෙන මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් මස 15 දිනට හෝ ඊට ආසන්න දිනයක  දී සියලුම ප්‍රදේශවල එක වර ආරම්භ කිරීම සඳහා ගොවීන් උනන්දු කිරීමට  කෘෂිකර්ම  අංශ තීරණය කළේය.

දැනට ක්‍රියාත්මක ව පවතින එල්නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මෙවර මහ කන්නයේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වල විශාල වර්ෂාපතනයක් ලැබිය හැකි අතර මීළඟ යල කන්නය නැවත වරක් වියලි කාලගුණික තත්ත්වයක් උද්ගත විය හැකි යැයි මෙරට මෙන්ම වි‌දේශීය කාලගුණික අංශ ද අවධාරණය කර ඇති බැවින් 2023/24 මහ කන්නය හා 2024 යල කන්නය තීරණාත්මක වගා කන්න දෙකක් විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම නිසා වර්ෂාවෙන් ලැබෙන ජලය අපතේ යා නොදී මනාව කළමනාකරණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි කෘෂිකර්ම විද්වත්හු පවසති.

 කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ, මහවැලි, වාරිමාර්ග, ඇතුළු අංශ ගණනාවක් මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්  පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ ගොවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙවර මහ කන්නයේ වගා කටයුතු සැළසුම් කිරීම පිළිබඳව සාකච්ඡාවක් හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ දී පැවැත්වුණු අතර එල්නිනෝ බලපෑම එල්ල විය හැකි බවට  ගොවි ජනතාව දැනුම්වත් කර නැතැයි ද එහි වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බාර ගත යුතු අතර ඉදිරියට මෙවැනි අඩුපාඩු වලක්වා ගනිමින් කටයුතු කිරීම වැදගත් බව මෙහිදී  සියලු කෘෂි අංශ අවධාරණය කර තිබේ.