(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී දැක බලගැනීම සඳහා ඉන්දියාවේ කල්කටා නුවර ස්ලොට් ලේක් ක්‍රීඩාංගණයට රැස්වූ ජනතාව ඔහුව නිසියාකාරව දැක බලාගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගියදා කලහකාරීව හැසිරුණහ.

මෙසීව දැකබලා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් 133ක (ශ්‍රී ලංකා රුපියල් 40,000 ක් පමණ) මුදලක් ගෙවා ඊට සහභාගී වූ ජනතාව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයට පැමිණ තිබූ අතර ලයනල් මෙසී දැඩි රැකවල් ඇතිව විශාල පිරිසක් සමග ක්‍රීඩාංගනයට පැමිණ ඇත.

විශාල රැකවලුන් පිරිසක් සමග ක්‍රීඩාංගණයට පැමිණි විනාඩි 20 ක පමණ කාලයක් පිට්ටනියේ ඇවිදමින් සිටීමෙන් පසුව මෙසී පිටව ගොස් ඇති අතර ඔහුව හරිහැටි දැක බලාගැනීමට නොහැකි වීම නිසා ප්‍රේක්ෂකයන් මෙලෙස කෝප වී ඇත. එහිදී ප්‍රේක්ෂකාගාරයේ පුටු කඩා දමමින් නොයෙකුත් දෑ ක්‍රීඩාංගණයට විසි කරමින් ප්‍රේක්ෂකයින් කළහකාරීව හැසිරී තිබේ.

සිදුවීමත් සමඟ මෙසිගේ පාර්ශ්වය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සංවිධායකයාට පොරොන්දු වූ කාලය රැඳී සිටීමෙන් පසුව මෙසී පිට්ටනියෙන් පිටව ගිය බවයි. සිදුවීම පිළිබඳව ප්‍රාන්ත බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සංවිධායකයාව අත් අඩංගුවට ගැනීමටද ප්‍රාන්ත පොලිසිය කටයුතු කර ඇත.

සංවිධායකයා අත්අඩංගුවට ගත් හේතුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.