වසර හතකට ඉහත නිමා වූ තිස් වියැති යුදධයේ රඟ දකුණටත් බලා ගන්නට මෙන්, සාලාව කොස්ගම පෙදෙසම දෙදරුම් කමින් ඇති වූ පිපිරීමට දැන් මාසයක් ගත වී හමාරය. තවමත් සාලාව කොස්ගම පෙදෙස සිහි ගන්වන්නේ දැවැන්ත යුද පිටියක ඉතිරි වූ නටබුන් ය. සාලාව යුද හමුදා කදවුර ද තවමත් දිස්වනුයේ පිපිරීමෙන් වූ විනාශ වී ගිය අයුරිනි. අවට සුණු විසුණු වූ නිවාස ද, ඒ අවට ඉදිවුණු කූඩාරම් ද , තවමත් හූල්ලන මිනිසුන් ද සාලාවේ සුලබ දසුන්ය. “අපට රු.50,000 නිවාස කුලී දීමනාව ලැබුණා. ඒත් අපි වෙන කොහේ හරි ගේක කුලියට ගියොත් මේ ගේ හැදෙනවාද කියලාවත් බලන්නෙ කොහොම ද? අපි මෙතන හිටියොත් නේ අපිව පේන්නේ. ඒ නිසා කූඩාරමේ ම ඉන්නවා.“ එසේ පවසන්නේ සාලාව කදවුර පිටුපස රණවිරු ගම්මානයේ රාජිකා පෙරේරා මහත්මිය යි.
නිවාස කුලී දීමනාව ලැබුණු බොහෝ දෙනා තවමත් සිටින්නේ කූඩාරම් තුළය. ඔවුහු තම නිවාස සෑදෙන දිනක් ගැන ද ඒවා කෙලෙස සෑදේ දැයි කියා ද විමසිල්ලෙන් නිවාස අසලම තවමත් ඉතා අපහසුවෙන් වුව රැදී සිටිති.
“මේ දවස් වල මේ පැත්තෙ කුලියට ගෙවල් හොයන එකත් ලේසි වැඩක් නෙමෙයි. මාස හයක කුලිය එක පාර ඉල්ලනවා, ගණනුත් සෑහෙන වැඩියි දැන්. මිනිස්සු බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. වැටුණු මිනිහට තවත් රිද්දනවා.“ කේ. සුනිල් කියයි. සාලාව කදවුර ඉදිරිපිට වූ ඔහුගේ නිවස සම්පූර්ණයෙන් ම පාහේ විනාශයට පත්ව ඇත. මේ වන විට නිවාස 800ක වහලවල් සාදා නිමකර තවත් නිවාස 32ක වහලවල් හදමින් පවතින බවත් ඊට අමතරව වහලවල් සෑදීමට අවශ්‍යය කරන සමහර බිත්තිවල සිදුරු වැසීම් වැනි සුළු සුළු වැඩ කර තිබෙන බවත් එම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටින ආරාක්ෂක සේනා ආඥාපති(බටහිර) සුදන්ත රණසිංහ මහතා කීවේය.
තව ද ප්‍රජා ශාලා, ප්‍රදේශීය සමිති, සණස ගොඩනැගිල්ල, බැංකුව, කිරි එක් රැස් කරන මධ්‍යස්ථානය,ගොවිජන සේවා මධ්‍යස්ථානය,කොස්ගම රෝහල ඒ සියල්ලම අලුත්වැඩියා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. සම්පූර්ණයෙන් ම හානි වී ඇති නිවාස ඉදි කිරීම් ආරම්භ කළේ මීට දින කීපයකට ඉහත බවත් සමහර නිවාස වල ඉදි කිරීම් තවමත් ආරම්භ වී නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති. ඒ අතරම නිවාස වලට සුළු හානි සිදු වී තිබියදීත් නිවාස කුලී දීමනාව සමහර අය ලබා ගනිද් දී තම නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වුවද දීමනාව නොලැබුණ බවට ද තවත් පිරිසක් චොදනා නගති.
“මේ වන විට 401 දෙනකුට නිවාස කුලී දීමනාව වන රු.50,000 ලබා දී තිබෙනවා. තවත් 850 දෙනෙකුට එම දීමනාව ලබා දෙන්න ජුනි පස් වැනි දා කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. තව 150 දෙනෙකුට දෙන්න ලැයිස්තු හදලයි තියෙන්නේ. අනුමැතිය ලැබුණ ගමන් ඒවාට චෙක් ලියන්න පුළුවන්. ආපදා සහන සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් නිවාස වලට ගිහින් බලලා ඉතිරි නිවාස තෝරා ගැනීම සිදු කරනවා. නිවාස වලින් ගිහින් වෙන ප්‍රදේශ වල නෑදෑ ගෙවල් වල සිටි සමහර අය ඊයේ වෙද්දිත් ආපහු ආවා. නිලධාරීන් යද්දී කවුරුවත් හිටියෙ නැති ගෙවල් වල අය නැවත ඇවිත් ඉල්ලීම් කළාම දීමනාව ලබා දෙනවා.“ යැයි සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්. බණ්ඩාර මහතා කීවේය.
(ඡායාරූප - ඉඳුනිල් උස්ගොඩආරච්චි)











COMMENTS
සුවසේ ජීවත්වූ පිරිසක් වගෙයි පෙනෙන්නේ. මොනවා කරන්නද දුක සැප නිති පෙරළෙනවා. (නි)
කවදද කැබිනට්ටුවේ අනුමැතිය ගන්නේ. කයිවාරු බයිලා කිය කියා ඉන්නේ නැතුව කඩිනමින් ගෙවල් ටික සාදා දියයුතුය. ජනාධිපතිවරයා මේ ගැන පුද්ගලිකව සොයාබැලිය යුතුය (නි)
මේ තියෙන්නේ අපේ ආයතනයේ සේවය කරන කෙනෙක්ගේ නිවසක් අලුත් වැඩියාව සදහා තම වහලේ ගලෝල සුද්ද කරලා තියෙන්නේ මේ නිවසේ වැඩ දැන් කරගෙන යනවා හමුදා සහෝදරවරු මේ දේ කියන්නම් ගොඩක් අයගේ නිවාස දැන් හදල ඉවරයි එ්ත් දැන් එයාලා රුපියල් 50000 ඉල්ලලා අරගල කරනවා එ්ක කැත වැඩක්.. (බ)
මොනවා නැති උනත් අර පුංචි දරුවාගේ නිවස හදා දෙන්න පළමුව. (ර)
පව් අහිංසක මිනිස්සු. (ර)
මේවා ගැන සොයා බලන්න ඇමති ගොල්ලන්ට ෆොර්වීල් අධි සුකෝප බෝගී වාහන ඕඩර් කරලා තියෙන්නේ ආව ගමන් ඇවිත් බලාවි. (ර)
දුර්වල පාලනයන් නිසා අහිංසකයන් හැමදාම දුක් විඳිනවා. වගකීමක් ගන්න බැරි අයට බලය දෙන්න එපා. (ර)
ටීවී එකෙන් නම් ආණ්ඩුව කතා කරන්නේ තිබුනට වඩා හොදට සුරපුරයක් වගේ හැදුවා කියලයි. (හේ)
පරම සත්‍ය මෙයයි ,යුද අවි උතුරේ පිපුරුවත් ,දකුණේ පිපුරුවත් අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු ,(හේ)
කලින් කිව්වනේ මේ පැත්තේ ගෙවල් හදලා ඉවරයි කියලා.(හේ)
බයිලාත් ඇහුවා. යහපාලනයේ බයිලා තරම් ඇහුවේ නැහැ ජීවිතේටම. (නි)
රටේ ජනාධිපති අාවද මේවා බලන්න. මිනිස්සු මුළු ජිවිත කාලෙම හම්බ කරගත් ධනය. ලොක්කෝ නම් හොරාකාලා, වන විනාශ කරමින්, නොයෙක් අාකාරයේ හොර වැඩ කරමින් සල්ලි හම්බ කරගන්නවා. ඇත්තටම රට ගැන ලැජ්ජයි. තව සුඛෝපභෝගී රථ ගෙනාවා. (නි)
ඔය සාලාවේ ඉඩම් කෑල්ලටත් කිහිප දෙනෙක් ඇහැගහගෙන ඇති. නියම පාලකයෝ නම් හැමදෙයක්ම නවත්වලා මේ දේට පිළිසරණක් දෙන්න ඕනෑ. (නි)
මමත් මේ ගමේ කෙනෙක්. මෙහි ගොඩක් ගෙවල් හදලා. හමුදාවේ සහෝදරවරු දිවා රෑ නොබලා මහන්සි වී වැඩකරනවා (නි)
මේ මිනිසුන්ගේ ජීවිත පව්. මොනතරම් දුක් මහන්සි වෙන්න ඇද්ද මේ ගෙවල් දොරවල් හදා ගන්න. රජයේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුපවත් ගෙවාගන්න බැරි වත්මන් පාලකයින් මේ මිනිසුන්ගේ ගැටළු කොහොම විසඳයිද. හැමදේම අවුල්වෙලා තියෙන්නේ. (නි)
සමහරු හිතන්නේ යුද්ධය තිබුනේ උතුරේ විතරයි කියලා. දකුණේ මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා කියලා අලුත් මතයක් ගෙනියනවා. මහා බැංකුව, කටුනායක, කොළොන්නාව, දෙහිවල තියෙන්නේ උතුරේ නෙමෙයි. අපිත් 30 අවුරුද්දක් තිස්සේ හොඳට බැට කෑවා. (නි)