(ශ්‍රීනාත්ප්‍රසන්න ජයසූරිය)

අවුරුදු 11 ක් වයසැති බාල වයස්කාර පාසල් සිසුවියකගේ කෙස් කළඹ කපා දැමූ බව කියන අඹුසැමි යුවළක් සැකපිට අත්අඩංගුවට ගත බව කැස්බෑව පොලිසිය පවසයි.

මෙම බාලවයස්කාර සිසුවියගේ මව සමග පැවති බව කියන ආරවුලකට පළිගැනීමක් වශයෙන් මෙවැන්නක් කර ඇතැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

සැකකාර අඹුසැමි යුවළ දැරියගේ මව සොයා ඇයගේ නිවසට පැමිණ ඇත. ඒ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දැරිය පමණක් යැයි පොලිසිය සඳහන් කරයි

දැරිය ගෙන් මව ගැන විමසා ඇය නිවසේ නොමැති බව දැරිය පැවසූ පසු දැරිය අල්ලාගත් අඹුසැමි යුවළ ඇයගේ කෙස් කළඹ කපා දමා ඇතැයි එම පොලිස් නිලධාරියා කීය

මව නිවසට පැමිණි පසු දැරිය කපා දමන ලද කෙස්කලඹ පෙන්වා සිදු වූ දේ ගැන ඇය සමඟ පවසා ඇත.

කපා දමන ලද කෙස්කලඹ ද බෑගයක දමාගෙන මව දැරිය ද කැටිව පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කරනු ලැබුවාය.

දැරිය ගේ ප්‍රකාශය අනුව සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා කැස්බෑව පොලිස් වසමේ පදිංචි අය වෙති.

නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට කපා දමන ලද කෙස් කලඹ ද පොලිස් භාරයට ගෙන ඇත.