(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියා සමාගම් උනන්දු කරවන බව මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝක් නුවර දී පැවසීය.

මැලේසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනිමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව ද මැලේසියා අග්‍රාමාත්‍යවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී සිදු විය.

මැලේසියාවේ සංචාරයක නිරතවන ලෙස මැලේසියාවේ රජතුමා කළ ආරාධනය ද මැලේසියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී දැනුම් දුන්නේය. එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ මැලේසියාවේ සංචාරය සඳහා පැමිණෙන බව ද තහවුරු කර සිටියේය.

එසේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කර තිබෙන ඉල්ලීමට සහය දැක්වීමට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එකඟ විය. ලබන මාසයේ දී කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) කලාපීය සමුළුව සඳහා මැලේසියා විදේශ අමාත්‍යවරයා සහභාගී කරවන බවද මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් බින් ඊබ්‍රහීම් මහතා සඳහන් කළේය.