ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන්, විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ඉන්දියානුවන් ඇගයීමට ලක් කරන, ‘පද්ම’ සම්මාන උළෙල නවදිල්ලියේදී පැවැත්විණි. ඒ, ඉන්දීය ජනාධිපතිනී දෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම අවස්ථාවට සහභාගී විය.

සම්මාන උළෙලේදී මලයාලම් සිනමාවේ ප්‍රවීණ මෙන්ම අසහාය නළු මමූති ද පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේය. මලයාලම් නළුවකු ලෙස පමණක් නොව, මමූති දෙමළ, තෙලිගු, කණ්ණඩ සහ හින්දි සිනමාවේ ද ජනප්‍රියයි. 74 හැවිරිදි ඔහු මේ වනවිට සිනමා නිර්මාණ 400 කට දායක වී ඇත. මමූති චිත්‍රපට නිෂ්පාදකවරයකු ද වෙයි.

‘පද්ම භූෂණ’ යනු ඉහළම සිවිල් සම්මාන අතරින් එකකි. ‘පද්ම’ සම්මාන උළෙලේදී පිරිනැමෙන භාරත රත්න සහ පද්ම විභූෂණ සම්මානවලට පසු ඉන්දියාවේ තෙවැනි ඉහළම සිවිල් සම්මානය මෙයයි. ‘පද්ම’ සම්මාන පිරිනැමීම සිදුවන්නේ ඉන්දීය ජනාධිපතිවරයා අතිනි. මෙම සම්මාන ප්‍රධානය ආරම්භ වූයේ 1954 වසරේදීය. ඒ, එවකට ජනාධිපති ලෙස කටයුතු කළ රාජෙන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම 2026 වසරේ, මමූති ද ඇතුළු තවත් විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙවරක් කළ 12 දෙනකුට ඉන්දීය ජනාධිපතිනිය අතින් පද්ම භූෂණ සම්මානය හිමිවිය. එම 12 දෙනා අතරේ, ඉන්දීය ටෙනිස් ක්‍රීඩක අම්රිත්රාජ්, ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ෂර්මා පමණක් නොව, ඉන්දීය සිනමාවේ පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් ද සිටිති.