(විනීතා එම් ගමගේ)    

කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී ලියාපදිංචි වී විදේශ රැකියාවලට ගිය අයට ප්‍රමුඛත්වය දෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සියලු දෙනා ගෙන්වා ගන්නා නමුත් ලියාපදිංචි වී ගිය අයට ප්‍රමුඛත්වය දෙන බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මැදපෙරදිග ඇතුළු රටවල කොටුවී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් අති බහුතරයක් නැවත පැමිණීමට කැමැත්ත දක්වා නැතැයි ද අමාත්‍යවරයා කීය.

එමෙන්ම පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සමහරුන්ට ඒ ඒ රටවල අධිකරණමය කටයුතුවල පැටලී තිබීමෙන් ආපසු එන්නට නොහැකි වී ඇතැයි ද නිමල් සිරිපාල මහතා සඳහන් කළේය.

වීසා කාලය ඉක්මවා ඇති විශාල පිරිසක් මැදපෙරදිග රටවල වෙසෙන බවත් කෙසේ කවර අන්දමින් විදේශ ගත වුවත් ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් වන බැවින් එසේ නීති විරෝධී අන්දමින් රැඳී සිටින අය පවා ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ඇතත් ඔවුන් ගෙන්වා ගැනීමේ දී නීතිමය ප්‍රශ්න බලපාන බවත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ 7 වන මහලේ දී සිය තනතුරේ සුබ නැකතින් රාජකාරි ආරම්භ කළ අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍ය අමතමිනි.