(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිස්ගල යට සූක්ෂම ලෙස තැනූ කුහරයක සඟවා පාසල් සිසුන්ට මත්කරල් අලෙවි කළ කාන්තාවක් මට්ටක්කුලිය පර්ගියුසන් පාර නිවසකදී අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකාරිය සමග මත්කරල් 1310 ක් පොලිස් භාරයට ගෙන ඇත.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දිවයින පුරා සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම්වලට සමගාමීව බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව වැටලිම කළ බව පොලිසිය කියයි.

පාසල් ළමුන් සහ අමතර පන්ති යන ළමුන් ඉරක්ක කරගෙන මත් කරලක් රුපියල් සියය බැගින් අලෙවි කර ඇති බව පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත.

56 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකාරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.