(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය 'නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් වී ඇත.

පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමා තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) මගින් සංවිධානය කරනු ලබන "වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී" ඇගයීම් යටතේ පැවැත්වෙන මෙම සම්මානය සඳහා සුගත් වසන්ත ද සිල්වා මහත යෝජනා කරන ලද්දේ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) ශ්‍රී ලංකා ශාඛාව විසිනි.

2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වා මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාවේ (Parliamentary Caucus for Persons with Disabilities) සභාපතිවරයා ලෙස පත්වෙමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සංඥා භාෂා පිළිගැනීම, ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් සහ ව්‍යවස්ථාපිත සංශෝධන උදෙසා කැපී පෙනෙන නායකත්වයක් ලබා දී ඇත. විශේෂයෙන්ම, 2026 ජාතික අයවැය යටතේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වෙන්වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ 25කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමාලෝචන පවත්වමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වගවීම තහවුරු කිරීමට ඔහු කටයුතු කළේය.

අම්බලන්ගොඩ කන්දෙගොඩ කනිටු විදුහලෙන් සහ වතුගෙදර සිරි අබේතිස්ස කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද සුගත් වසන්ත මහතා, දෘෂ්‍යාබාධිත වීමෙන් පසු රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත්ව බ්‍රේල් අකුරු ඇතුළු විශේෂ අධ්‍යාපනය ලැබීය. අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගැනීමට සමත් විය.

සැප්තැම්බර් මස 17 වන දින දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවැත්වුණු 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී (69th Commonwealth Parliamentary Conference) මෙම සම්මානය සුගත් වසන්ත මහතා වෙත නිල වශයෙන් පිරිනමන ලදී.