(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත  පෙබරවාරි මස සම්මත කිරීමට රජය බලාපොරොත්තුවේ.

පනත් කෙටුම්පත සති හයකදී  සම්මත කරගත හැකි  බව  සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

කෙටුම්පත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සති දෙකක කාලයක් සියලු පාර්ශ්වවලට දැනටමත්  හිමිව ඇත.

මේ අනුව කෙටුම්පත පිළිබඳ අධිකරණ තීන්දුව සති තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු  විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 512 දෙනෙකුගේ (කලත්‍රයන්ද ඇතුළුව) විශ්‍රාම වැටුප අහෝසි වී යනු ඇත.

එසේම ඉදිරියට විශ්‍රාම යන මන්ත්‍රීවරුන්ටද විශ්‍රාම වැටුප අහිමි වෙයි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හිටපු මන්ත්‍රීවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් පෙනී සිටින සියලුම සංවිධාන තීරණය කර ඇත. විශ්‍රාමික  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ  තම නීතිඥයන් ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි.