(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ වැදගත් ලිපි ගොනු රැසක් විනාශ කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ  පාර්ලිමේන්තු  කාරක සභාවේදී  (කෝපා කමිටුව)  දීර්ඝව  සාකච්ඡා  කෙරිණ.

එම සිදුවීමට අදාලව  අධිකරණය   සහ ජනාධිපති ලේකම්  දුන් නියෝග  බලධාරීන් ක්‍රියාත්මක කර  නොමැති බවද එහිදී තොරතුරැ  අනාවරණය විය.

මේ  අනුව සිදුවීමට අදාළ සියලුම වාර්තා සහ ලිපි, කාරක සභාවට යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා මධ්‍යම පළාත් සභාවේ  නිලධාරීන්ට  උපදෙස් දුන්නේය

මධ්‍යම පළාතේ, මාර්ග සංවර්ධනයේදී හා මගී ප්‍රවාහන සේවා කටයුතුවලදී සිදුව ඇති අක්‍රමිකතා සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තවද, අනීතික ලෙස බදු කොන්දේසි උල්ලංඝනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය සතු ගිමන්හලක් තෙවන පාර්ශ්වයක් වෙත ලබාදීමට අදාළ සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කර අැත.  ඒ අනුව එම සිදුවීමට අදාළව තීරණ ගත් නිලධාරීන් හඳුනාගැනීමට කටයුතු කරන ලෙස සහ සිදුවීම සම්බන්ධව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක්  යොමු කරන ලෙස  කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස්   දුන්නේය.

ආයතනයන්හි   ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ ක්‍රියාවලි කඩිනමින් සම්පූර්ණ කර ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම සභාපතිවරයා අවධාරණය කළේය. රාජ්‍ය ආයතනයක් ලාභ ලබන්නේ නම් එම ලාභය රජයට හිමිවිය යුතු බවත්  එකී ආදායම් ආයතනික කටයුතු සඳහා යොදාගන්නේ නම් නිර්ණායකගත නීති හා ක්‍රමවේද අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බවත්  හෙතෙම  අවධාරණය කළේය