(රංජිත් කරුණාවිර)

“අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ , මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ වැරදක් කරලා තියෙනවා නම්  දඩුවම් කරන. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රදවාගෙන දඩුවම් කළ යුතු නැතැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, පැවැසීය.

ඒ තරුණයා ඇතුළු අරගලයට එකතු වෙච්ච සමස්ථ පිරිස කථා කරලා තියෙන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික උමවනාවන් නෙවෙයි. ඒ අය කථා කළේ මේ මුළු රටේම අවශ්‍යතාවයයි. එම කථා කිරිම තුළ තමයි අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට වුණත් බලයට පත් වෙන්න අවස්ථාව ලැබුණේ මේ අය. අත් අඩංගුවට ගෙන තියෙන්නේ මේ රටේ වසර 30ක් තිබ්බ යුද්දෙට දාලා තිබ්බ නීති පාවිච්චි කරලා. හැබැයි මේ අයගේ අතේ තිබිලා ගිණි අවියක් හෝ අත් බෝම්බයක් හොයාගෙන නෑ.

වැරද්දක් කර තියෙනවා නම් කඩිනමින් දඩුවම් දෙන්න. රදවාගෙන තබාගැනීම කිසි තේරුමක් නෑ කියලයි මම කියන්නේ.

 “පසුගිය කාලයේ මේ රටේ ලොකු වෙනසකට ලක් වුණා. මම දැකපු විදියට ඒ කාලේ ඒ අය කථා කරේ මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියකුම අත් විදින ගුටළු පිළිබදවයි. ඒ කටයුත්තේදී අපේ ගමේ ඉපදිච්ච, අපේ පරම්පරාවේ කැකුළියකුගේ කුසින් බිහිවෙච්ච දරුවකුත් මේ තැනට මුලිකත්වය ගෙන සම්බන්ධවෙලා තියෙනවා. ඒ කාලේ හැමෝම කථා කලේ ඒ අයට සිදු කරන දේ හොදයි. හැමෝම ඒකට උදව් කරන්න ඕන කියලා. සමහර වේලාවල්වලදී රටේ ප්‍රධාන පිරිස් පවා ඒ අවස්ථාවන්වලට සම්බන්ධ වෙලා උදව් කෙරුවා. ඒවා දකිද්දී මමත් හිතාගත්තා රටේ සියළු දෙනාටම ඒකෙන් යහපතක් වෙයි කියලා.

බලාගෙන යනකොට දැන් ඒකෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා. මෙම අරගලයට එදා දවසේ හොදයි කියලා හිතාගෙන කථා කරපු අය අද වෙන කොට අනිත් පැත්තට ගිහිල්ලා.

වසන්ත මුදලිගේ කියන තරුණයා මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මට ආරංචි වෙනවා සමාජයේ එකක එක කථා. ආදිවාසී මිනිස්සු කියන්නේ අර තැනටත් මේ තැනටත් කථා කරන මිනිස්සු, හැම එකක්ම අවුල් කරන මිනිස්සු කියලා කථාවෙනවා කියලා එකක එක කථා.

හැබැයි මම හිතනවා, ආදිවාසී නෙවෙයි මොන එකා වුණත් සාධාරණයකට කථා කරනවානම් ඒක තමයි සාධාරණය. 

ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, දඹාන කොටබකිනිය ගම්මාණයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව පැවැසීය.