මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී ඇත

බුදුරජාණන් වහන්සේ පළමු වරට  උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙස මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ.

මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දින හැඳින්විය හැකිය.

එසේම සුද්ධෝදන රජතුමා තෙවන වරට පුත්‍ර වන්දනය සිදුකළ පෝය ලෙස ද මැදින් පොහෝය හඳුන්වයි. 

සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනක බව බෞද්ධ පත පොතේ සඳහන් වේ. රාහුල කුමරු සසුන්ගත වීම සිදුවූයේද අද වන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

එසේම ඒහි භික්ෂු භාවයෙන් මහණ අත්හිටුවා ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පොරවා මහණ කිරීම රාහුල කුමාරයාගෙන් ආරම්භ වූයේද අදවන් පුන් පොහෝ දිනකය.

මාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි දිවියට පත් නොකරන මෙන් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් සිදු කළ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශික්ෂා පදය වූ මව්පියන්ගේ අනුදැනුමකින් තොරව දරුවන් පැවිදි නොකිරීමේ විනය නීතිය ද පනවන ලද්දේ ද අදවන් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයකය.