හම්බන්තොට, මන්නාරම සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජලජීවි වගා කර්මාන්ත කලාප පිහිටුවීමට ලබන වසරේදී රුපියල් මිලියන 500ක් වෙන් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
ඉදිරි වසර තුනේ සිට පහ දක්වා කාලය තුළ අවම වශයෙන් පස් ගුණයකින් මත්ස්‍ය අපනයන ආදායම් ඉහළ නැංවීම මෙහි අරමුණ බව කියයි.

කකුළුවන්, පොකිරිස්සන්, බෙල්ලන් සහ ඉස්සන් අගය එකතු කිරීමෙන් තොරව අපනයනයෙන් පමණක් නොව මත්ස්‍ය සැකසුම් හා ටින් කිරීම වැනි අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම මෙමඟින් සිදු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යංශය පවසයි.

මෙරට ධීවර හා ධීවර ආශ්‍රිත අපනයන දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 163ක පවතින බව ද එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.