(මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ ගොංගාවල බස් නැවතුම්පොළ සංවර්ධනය කර ලබන 26 වැනිදා දේශපාලනඥයකුගේ ප්‍රදානත්වයෙන් විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබීම මැතිවරණ නීතී උල්ලංඝණය වීමක් යැයි  පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි මාතලේ මහ දිසාපති, මැතිවරණ තේරීම් බාර නිලධාරී, කරුණාසිරි පෙරේරා මහතා පැවසීය.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්  26 වැනිදා   මෙම බස්නැවතුම්පොළ විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබීමෙන්  මැතිවරණ නීතී උල්ලංඝණය වන  බව හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.
 
මැතිවරණ දිනය  ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව  මාතලේ දිස්ත්‍රික්කයේ  ලැබුණු පළමු පැමිණිල්ල මෙය බවද  දිසාපතිවරයා පැවසිය.

තමන් ඒ පිළිබඳව අදාළ අංශ වෙතින් කරුණු විමසූ බවත්, සැලසුම් කළ උත්සව පැවැත්විය හැකි නමුත් දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් ප්‍රවර්ධනය කිරීමක් සිදු නොකළ යුතු බවට දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.