(යොහාන් භාසුර)

වසර ගණනාවක සිට අබලන්ව තිබෙන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණය නැවත සැකසීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය සහ ආසියානු හොකී සම්මේලනය මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී අවබෝදතා ගිවිසුමට අද (17) අත්සන් තැබීය.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව එම ක්‍රීඩාංගණය නැවත සැකසීම සඳහා ආසියානු හොකී සම්මේලනය ඇමෙරිකානු ඩොලර් 235,000 ක් හෙවත් රුපියල් කෝටි 7 කට අධික මුදලක් පිරිනමන අතර ක්‍රීඩාංගණය නැවත සැකසීමට රුපියල් කෝටි 11 ක් වැයක් ඇස්තමේන්තු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා වන ඉතිරි මුදල පිරිනැමීමට එකඟ වී ඇති අතර මෙම ව්‍යාපෘතිය ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණ දෙක වන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණවල කෘත්‍රීම තණ තීරුව 2009 වසරේ සිට නවීකරණය නොකිරීම නිසා ක්‍රීඩා කිරීමට නොහැකි වී තිබේ.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ශමාල් ප්‍රනාන්දු සහ ජාත්‍යන්තර හොකී සම්මේලනයේ සභාපති තයාබ් ඉක්ක්‍රම් ඇතුළු පිරිසක් සහභාගි වූහ.