(අංජුල මහික වීරරත්න)

අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට  සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර,  ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

එසේම ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදුවුව හොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දුන්නේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

ගංවතුර, තද සුළං, පස් කඳු කඩා වැටීම්, තද වැසි, ගල් පෙරලීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන්  මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2350ක පුද්ගලයන් 9448දෙනෙක් පමණ පීඩාවට පත්ව සිටිති. 
අර්ධ හානි සිදු වූ නිවාස ගණන 399ක් වන අතර වෙනත් දේපළ හානි 37කි. 

මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල ස්ථාපනය කළ ප්‍රජා ආහාර සැකසීමේ මධ්‍යස්ථානවලදී ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සපයාදීම සිදු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

පවුල් 6967ක් පුද්ගලයන් 25,553ක් ගංවතුරින් කොටු වී සිටින අතර ඔවුන් වෙත පිසූ ආහාර ලබා දීම යුද හමුදාව විසින් සිදු කරන බව රජය පවසයි. 

මේ අතර ගංවතුරින් වැඩිම පීඩාවකට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ද යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇතැයි ද  61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ, මාතර ප්‍රදේශය භාර බල සේනාංකාධිපති කර්නල් රොෂාන් කන්නංගර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා බල ඇණි දෙකක් එම සහන සේවා සිදු කරන බවද රජය කියයි. 

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා අගුල් 06ක් හා මෝටර් බෝට්ටු 03ක් යොදවා තිබෙන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ජනතාව මුදා ගැනීම වෙනුවෙන් විශේෂ හමුදා රථ ස්ථානගත කර තිබේ. 

මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයන් සහ ඊට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා මේජර් ජෙනරල් ජානක රණසිංහ (0766907042), කර්නල් රොෂාන් කන්නංගර (0766907146) සම්බන්ධ කර ගන්නා ලෙස රජය ඉල්ලීමක් කරයි.