මිනිසා සහ සොබාදහම අතර චිරාත්කාලීනව පවත්නා සබඳතාවය වඩාත් ආකර්ශනීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

තෛපොංගල් දිනයේ උතුරුවන කිරිවලින් මිනිසාට ආදරයද, දැල්වෙන පහන් වැටියෙන් සහජීවනයේ ආලෝකයද විහිදේවායි ජනපති පතයි.

නව වසරක ඇරඹුම නව ප්‍රාර්ථනා අරමුණු ගොඩනගා ගනිමින් ජීවිතය පිළිබඳව අපේක්ෂා දල්වා ගනිමින් ඉදිරිය දකින්නට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය පෙන්වා දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

රට තුළ එකමුතුවත්, සංහිඳියාවත්, සාමයත් වර්ධනය වී නැවුම් ලෙස කිරි ඉතිරේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් සඳහන් කර ඇත. 

ජනතා විමුක්ති පෙරමුණ තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජය ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීමටත්, විසඳා ගැනීමට නොහැකි වූ අර්බුද විසඳා ගැනීමටත්, බලාපොරොත්තු අලූත් වන මොහොතක්  උදාවී ඇති බවයි.