(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටුවේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විදුලි කණුවක් සිටුවීම සදහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද සවස මිනිස් ඇට කටු තොගයක් හමු වී තිබේ.

පසුව මාතර මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු ඒ පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබු අතර ඒ අනුව ගාල්ල හා මාතර පුරා විද්‍යා ප්‍රාදේශීය කාර්යාල  නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කලේය.

අඩි 4 ක් පමණ ගැඹුරු වලක එම අස්ථි කොටස් තිබු අතර ඉපැරණි ඇණ 04 ක් ද ඒවා සමග ගොඩ ගනු ලැබීය.

එම මිනිස් අස්ථි කොටස් කුමන කාලයකට අයත් ද යන්න සෙවීමට වැඩි දුර පරීක්ෂණ සිදු කළ යුතු බව පුරා විද්‍යා නිලධාරියෙකු කීය.

තවද දැනට පවතින තත්වය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කොට එම ස්ථානයේ තව දුරටත් කැණීම් සිදු කරනවාද යන්න තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් කීවේය.