( රොමේෂ් මධුෂංක) 

වව්නියාව පූන්තොට්ටමු ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකදී අද (20) දින පුද්ගලයින් දෙදෙනකු අතර වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ පහර දී ගැනීමකදී එක් අයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

මෙලෙස පහරදී ඝාතනය කල සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටියදී අද (20) සවස අත්අඩංගුවට ගත් බවටද වව්නියාව පොලීසිය පැවසීය.

මත්පැන් අලෙවිසැලට පැමිණි අදාල පුද්ගලයින් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇතිව පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇත. එහිදී එක් අයෙකු පහරකෑමෙන් බරපතල තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අදාල පහරදීමෙන් පසුව පහරදීම සිදුකල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට ඇති අතර පසුව පොලීසිය විසින් සිදුකරන ලද සෝදිසියකදී අදාල සැකකරු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය විසින් පියවර ගනු ලැබීය.