(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දුම්බර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින කාන්තා රැඳවියන් මෙහෙයවන හොරොයින්  මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන 3 ක් පොලිස් බාරයට ගෙන ඇත.

කළුතර දකුණ පොලිස් වසමේ ගල්අස්ස හේන ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් තුනක් සමඟ අත්අඩංගුවට  ගත්  සැකකරුවකුගෙන්  ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු මත්කුඩු ග්‍රෑම් දෙකක් සමඟ පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයන්ට මත්කුඩු ලබාදෙන ප්‍රධාන සැකකරු මත්කුඩු ග්‍රෑම් විස්සකට අධික ප්‍රමාණයක් සමඟ පයාගල පැරණි ගුවන්තොටුපල ප්‍රදේශයේදී අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවට ලක්ව මේ වන විට  ඩුබායි රටට පලාගොස් සිටින චාමර චතුරංග නොහොත් ‘චූ කට්ටා‘ නැමැත්තා මාර්ගයෙන් දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම් කාරියක් මෙම මත්කුඩු සපයන බවට සොයාගෙන ඇතිබව පොලිසිය පැවසීය.