(සුජිත් හේවාජුලිගේ )

ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ  සභාගර්භයේ පාවිච්චිය සඳහා පසුගිය වසර තුනේදී දුන් වාර්තා සහ  ලේඛන වෙනුවෙන් රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක් වැය කර ඇතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය  පැවසුවාය.

ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට දෙන  හැන්සාඩ් වාර්තා, න්‍යාය පුස්තක,  න්‍යාය පත්‍ර සහ වෙනත් වාර්තා වෙනුවෙන් පසුගිය 2023 වසරේදී රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක්ද 2024 වර්ෂයේදී රුපියල්  පන් කෝටි අසූ ලක්ෂයක්ද 2025 වර්ෂයේදී රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක්ද මෙසේ වැය කර ඇත.

මැතිසබයේ ලිපි ලේඛන ඩිජිටල් ආකාරයට ඉදිරියේදී  ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත විමසීමට සමීක්ෂණයක් ආරම්භ කර ඇති  බවත් අගමැතිවරිය කීවාය.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.