(ඉන්දිකා රාමනායක)

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර් 580.16 දුරක් පා ගමනින් ගොස් යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු ඉකුත් දා ලෝක වාර්තාවක් තැබීමට පියවර ගත් බව යුද හමුදාව පවසයි.

ආරක්ෂාක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බළකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියකු වන මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් මෙම පා ගමනේ නිරත විය.

පේදුරුතුඩුවේ සිට පසුගිය සැප්තැම්බර් මස 05 දින ආරම්භ කරනු ලැබූ මෙම පා ගමන කිලිනොච්චියල වවුනියාවල මැදවච්චියල අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පසුකරමින් දින 12 කට පසු  දෙවුන්දර තුඩුවෙන් සාර්ථකව නිමා කළ යුද හමුදාව පවසයි.

කිලෝමීටර් 580.16 ක දුරකින් සමන්විත පාගමන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයන්  නව සෙරන්ඩිබ් ලෝක වාර්තා සඳහා වූ සහතිකය මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත භාර දෙන ලදී.