කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි විභාගය පැය හතක් පුරා අද (20)  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය.
 
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් යවනු ලැබූ සිතාසි මත කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ද,  දැරිය අධ්‍යාපනය ලැබූ පාසලේ හිටපු විදුහල්පතිනිය සහ ගුරුවරු  පිරිසක් ද අද (20) කොමිසම හමුවේ පෙනී සිටියහ. 
 
සිද්ධියට මුහුණ දුන් පාසල් දැරිය සිය මව සහ පියා සමඟ කොමිසමට පැමිණ සිටියාය.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන ශාඛාවේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා සහ විමර්ශන නිලධාරියකු ඉදිරියේ උදේ 9.30ට පමණ මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදේ 11.00ට පමණ වාචික විමසීම් ආරම්භ කළේය.
 
දැරිය පාසලෙන් ඉවත් කිරීම ගැන මෙන්ම මාසයකට ආසන්න කාලයක් පාසලක් අහිමිව සිටීම ගැන වැඩි අවධානයක් යොමු කළ බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. පස්වරු 4.30ට පමණ විමර්ශන අවසන් වූ අතර ඉදිරිපියවර ගැන සියලු පාර්ශ්ව වලට දැනුම් දෙන බව කොමිසමෙන් ප්‍රකාශ කර තිබේ.
 
දැරියට වහා පසලක් ලබා දීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බවත්, ඇගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වීමෙන් පසු තීරණයක් ගන්නා බවත් මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය.
 
මාධ්‍යවල පල වූ වාර්තා සැලකිල්ලට ගෙන පැමිණිල්ලක් නැතිව මෙම විමර්ශන පවත්වන අතර මීට පෙර දැරියගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.