භික්‍ෂු විනය රැකීම සඳහා කතිකාවත් හා පනත් ගෙන ආ යුත්තේ මහ නා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි භික්‍ෂූන් වහන්සේලා විසින්ම බවත් බුද්ධ නීතියට මිස ගිහියන් විසින් ගෙන එන නීතියකට භික්‍ෂූන් වහන්සේලා යටත් කරගැනීමට ඉඩ නොදිය යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

රට, ජාතිය, ආගම වෙනුවෙන් පෙනී සිටින භික්‍ෂූන් වහන්සේලාට නීති පනවා නිහඬ කර රජයට හිතවත් නපුංසක නිකායක් බිහිකරගැනීමට රජය ක‍්‍රියාකරන බව පෙනෙන්නට ඇතැයි කී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ භික්‍ෂූන් වහන්සේලාගේ වැරදි පමණක් දකිනා පාලකයින්ට අන්‍ය ආගමික යාඥාවලදී සිදුවන පුද්ගල මරණ ආදිය නොපෙනෙන්නේ දැයි තමන් ප‍්‍රශ්න කරන බව ද කියා සිටියහ.

ඉදිරියේ දී කිසිම හේතුවක් මත අධිකරණයට නොයා සිටීමට තමන් තීරණය කර ඇතැයි කී ඥානසාර හිමියෝ එය රජය විසින් ගෙනඒමට යන භික්‍ෂු විනය කතිකාවතට විරෝධය පෑමක් ලෙස සිදුකරන බව ද ස`දහන් කළහ.

රජය විසින් විනය නීති පනවන්නේ නම් එය සියලූ ආගමික නායකයින්ට බලපාන අයුරින් කළ යුතුයැයි කී උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පියවර ගැනීම ස`දහා සංඝාධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටින බවද කියා සිටියහ.

එසේ නොකර විනය පනත් ගෙන එන්නට යන්නේ බටහිර අවශ්‍යතා මක බව ද ඥානසාර හිමියෝ පැවසූහ.

වරදාන වරප‍්‍රසාද වෙනුවෙන් පාලකයින්ට සමීප වී සිටින භික්‍ෂූන් වහන්සේලා ශාසනයේ පිරිහීමට හේතු වී ඇති බවත්,  බෞද්ධයින් වෙනුවෙන් කෙලින් තීරණ ගන්නා සංඝ නායකත්වයක් සොයාගත යුතු කාලයක් උදා වී ඇති බව ත් උන්වහන්සේ කීහ.

කෙසේ වෙතත් භික්‍ෂූන් වහන්සේලාට නීති පනවන්නට ගෙන එන පනත සම්මත කළහොත් එයට සහය දෙන මන්ත‍්‍රීවරුන්ගේ පාංශූකූලයටවත් භික්‍ෂූන් වහන්සේලා නොයනු ඇතැයි ද ඥානසාර හිමියෝ කීහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ කිරුලපන පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

DSC_1156 DSC_1172 DSC_1221