
බ්රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකාවට පලා ගියේය.
ෆ්ලේවියෝ සහ පවුලේ සාමාජිකයන්ට, ඇමෙරිකාවට ඇතුළු වීමට, වීසා ලබාදීමට ට්රම්ප් පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි ඇමෙරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබුණි.
ලූලා ද සිල්වාගේ ප්රධාන ප්රතිවාදියා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වුණු ෆ්ලේවියෝ බොල්සොනාරෝ බ්රසීල සෙනෙට් සභිකයෙකි. ෆ්ලේවියෝගේ පියා, යාර් බොල්සොනාරෝ බ්රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකි. යාර් බොල්සොනාරෝ දැඩි ට්රම්ප් හිතවාදියෙකි. ෆ්ලේවියෝ ද එසේමය.
2022 වසරේ පැවැත්වුණු බ්රසීල ජනපතිවරණයෙන් ලූලා ද සිල්වා ජයග්රහණය කළ අවස්ථාවේදී, පරාජය වූයේ යාර් බොල්සොනාරෝ ය. ඔහු පරාජය ප්රතික්ෂේප කළේය. ආධාරකරුවන් උසි ගන්වමින්, විරෝධතා සංවිධානය කළේය. රටේ දේශපාලන අර්බුදයක් ඇති විය. යාර් බොල්සොනාරෝට ද චෝදනා රැසක් යටතේ නඩු පවරා ඇත.
පසුගිය 25 වැනිදා පැවැති ජනපතිවරණයෙන්, 45 හැවිරිදි ෆ්ලේවියෝ බොල්සොනාරෝ, ඊට ඉදිරිපත් වූයේ විපක්ෂ නායකයා ලෙසය. ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ෆ්ලේවියෝ, ලූලා ද සිල්වාට වඩා ඉදිරියෙන් සිටියත්, දෙවැනි වටයේ දී ඔහුට දිනා ගැනීමට හැකිවූයේ සියයට 47 ක ඡන්ද ප්රතිශතයක් පමණි. ලූලා සියයට 51 ක ඡන්ද ප්රතිශතයක් දිනා ගත්තේය.
බ්රසීල ජනපතිවරණය සම්බන්ධයෙන්, ට්රම්ප් පවසා ඇත්තේ එය දූෂිත බවටත්, හොර ඡන්ද දැමීම් සිදුවුණු බවටත්ය. මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වෙද්දී, ට්රම්ප් පෙන්වා දී ඇත්තේ, ෆ්ලේවියෝ දේශපාලන පළිගැනීමකට ලක් වුණු බවය.
ට්රම්ප් මේ අයුරින් චෝදනා කළත්, පසුගිය 25 වැනිදා පැවැති බ්රසීල ජනාධිපතිවරණය කිසිදු අක්රමිකතාවයක් සිදුවූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැත. අවසන් මොහොතේ ඡන්දය ප්රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීමට ගත් තීරණය විවේචනයට ලක්වුව ද, ජනාධිපති ලූලා ලැබූ ජයග්රහණය ඉතා පැහැදිලි එකක් වූ බැවින් එම වේලාව දීර්ඝ කිරීම ජනාධිපතිවරණයේ අවසාන ප්රතිඵලයට බලපෑමක් එල්ල නොවුණු බව පැවැසෙයි.
ෆ්ලේවියෝ බොල්සොනාරෝ, බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකාවට පලා ගියේ, මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමග බොල්සොනාරෝගේ විදේශ ගමන් බලපත්ර අධිකරණයට භාරදෙන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග යැයි ද පැවැසෙයි. මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වුණු සැණින්, එම චෝදනා ප්රතික්ෂේප කරමින් ෆ්ලේවියෝ බොල්සොනාරෝ කියා සිටියේ තමන් නිර්දෝෂී බවත්, තමන් දිගටම බ්රසීලයේ රැඳී සිටිමින් විපක්ෂයට නායකත්වය දෙන බවත්ය.
ෆ්ලේවියෝ බොල්සොනාරෝ රටින් පලා යෑම සම්බන්ධයෙන් යළිත් වරක් සිවු වසරක ධුර කාලයක් හිමිවුණු ලූලා ද සිල්වා ඊයේ (27) අදහස් දැක්වීය. පියා යාර් බොල්සොනාරෝ මෙන්ම, ෆ්ලේවියෝ බොල්සොනාරෝ ද ඇමෙරිකන් ගැතියකු බවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ රූකඩයක් බවත්, ලූලා ද සිල්වා අවධාරණය කළේය. “බොල්සොනාරෝ පවුලේ ස්වභාවය මෙයයි. ඔවුන්ගේ පළමු මාතෘභූමිය ඇමෙරිකාවයි, බ්රසීලය ඔවුන්ගේ දෙවැනි මාතෘභූමියයි.” යැයි ලූලා ද සිල්වා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd