(යොහාන් භාසුර)

බූස්ස බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරු  බන්ධනාගාර රෝහලේදී ඖෂධ සංයෝජක නිලධාරියෙක්ට පහරදීම හේතුවෙන් අදාල නිලධාරියා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණී බී.  දිසානායක මහතා පැවසීය.

අමාන් ෂේක් නැමැති අදාල රැඳවියාට ඊයේ (3) බෙහෙත් දීමට ගිය අවස්ථාවේදී ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණට ප්‍රහාරයක් එල්ලකර ඇති බවත් ප්‍රහාරයෙන් පසුව බිමවැටී සිටි නිලධාරියා රෝහලට ඇතුළත් කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මූලික විමර්ශනයක් පවත්වමින් සිටින බව කී ඒ මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.