(බී.ජී. චතුරංග)

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වැව ලෙස සැලකෙන ඉතා වටිනා පෞරාණික වටිනාකමක් සහිත බසවක්කුලම වැවේ (අභය වැව) පෞරාණිකත්වය විනාශ කරමින්, වැව් බැම්ම අවසරයකින් තොරව කාපට් අතුරා සැකසීමට කටයුතු කිරීමට ගත් උත්සහාය වාරිමාර්ග දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක වී එය නවතා දමන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

රජයේ ව්‍යාපෘතියක් වන රට පුරා කිලෝමීටර් 1500ක් මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ප්‍රබල දේශපාලඥයකු මෙහි වැඩ ආරම්භ කර තිබේ.

වැව් බැම්ම පලුදු කර කොටසක කාපට් දැමීමට කටයුතු කරමින් තිබියදී මෙහි වැඩ නවතා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුරාධපුර වාරි මාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ අවසරයකින් තොරව කාපට් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව තමාට තොරතුරු වාර්තා වූ වහාම එහි වැඩ නවතා දැමූ බවය.එහෙත් කොටසක ඒ. බී. සී. ගල් අතුරා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

පුරාවිද්‍යා නිලධාරිනියකගේ අනුදැනුම මත මෙම වෑකන්ද මාර්ගය කාපට් අතුරා සංවර්ධනය සිදු කරන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතාගෙන් කරුණු විමසීමකදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ පුරාවිද්‍යා නිලධාරණයකට එසේ අවසර දිය නොහැකි බවය.