(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දලින්  බස් රථයක් සොරාගෙන  මොරගහහෙන පෙම්වතිය හමුවට ගොස් යළි පැමිණීමේ දී  අත්අඩංගුවට ගත් 15 හැවිරිදි බාල වයස්කරු  කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා නියෝග කළේය.

ඊට අමතරව  ඔහු සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙස පරිවාස නිලධාරීන් ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා බාල වයස්කරු පියාට භාර දෙන ලෙස වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ මත්තේගොඩ සම්බුද්ධි ප්‍රදේශයේ පදිංචි වීරවර්ධන කුලසූරිය ගේ ගිමාල් රන්දික යන අයයි.
පෞද්ගලික බස් රථ රියැදුරන් සිව්දෙනෙකු  සිය බස්රථ  නැවතුම්පොලේ ගාල් කර  ආසියානු කුසලානය සඳහා  ලංකාව හා පකිස්තානය අතර පැවැත්වූ අවසන් මහා ක්‍රිකට් තරගය නරඹමින් සිටියදී  සැකකරු මෙම සොරකම සිදුකර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය .

රාත්‍රී නමය තිහට පමණ බස් රථය සොරාගෙන ගොස් තිබූ අතර පැය තුනකට පමණ  පසු සැකකරු     අත්අඩංගුවට ගත් බව  පවසමින් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

රියදුරන්   ඔහුන් පැමිණි බස් රථ  නැවතුම්පොලේ පසෙක ගාල් කර  ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්  මුලින් පන්දුවට පහර අයුරු නරඹා එය නිම වීමෙන් අනතුරුව  රාත්‍රී ආහාර ගැනීම සඳහා  ඊට මදක් ඈතින් තිබෙන  ස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.

විනාඩි කිහිපයක ඇවෑමෙන් අනතුරුව  රියදුරන් සිව් දෙනා බස් රථ නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී  එක් බස් රථයක් නොමැති බවට දැක ඒ බව එහි රියදුරා විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශන සිදු කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනිණි.  

රාත්‍රී 12.30 ට පමණ  කැස්බෑව දෙස සිට  පැමිණිමෙන් තිබූ බස් රථයක් කෙරෙහි බස් නැවතුමට ආසන්නව තිබෙන කැස්බෑව පිලියන්දල අතුරු මාර්ගයේ  මාර්ග බාධකයේ සිටින නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව  එහි ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය පැවතීමට සංඥා කිරීමත් සමගම එය නැවතූ සැකකරු එයින් පිටතට පැන පලා යාමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යාමට බස් නැවතුම් පොලට පැමිණි බවත්  එම අවස්ථාවේදී මොරගහහෙන ප්‍රදේශයට යාමට බස් රථයක් නොවූ බැවින්  නවතා  තිබූ බස් රථ වලට ගොඩ වී  පරික්ෂා කිරීමේදී එක් බස් රථයක පණගන්වන යතුර එහි ම රඳවා තිබූ බැවින් ,කිසිදු අයෙක්  බවට පෙනෙන්නට නොසිටි බැවින් බස් රථය රැගෙන පෙම්වතිය හමුවීම සඳහා මොරගහහේන ට ගිය බව සැකකරු විසින් අනාවරණය කළ බව ඒ පිළිබඳ අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

 පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත  පොලිස් සැරයන්  40955 කුමාරසිරි මහතා සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළේය.