බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයකු ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් යළිත් එම සභාවේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

එළඹෙන බස්නාහිර පළාත් අයවැය විවාදය අතරතුර එම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂය පරාජය කර අමාත්‍යවරයා ධූරයෙන් නෙරපීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව පළාත් සභා ආරංචි මාර්ග පවසයි.

 පසුගිය වසරේ ද බස්නාහිර පළාත් ළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ළමාරක්ෂක, පරිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කෙරුණු අතර ඉන් පසු එම අමාත්‍යධූරය දැරූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට සිය ධූරය අහිමි විය.

මෙලෙස ධූරයෙන් ඉවත්කරවීමට සැරසෙන ඇමතිවරයාට මීට මාස කිහිපයකට ඉහතදී නැගුණු චෝදනාවක් යළිත් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් විසින් සභාව තුළ විටින් විට මතුකරනු ද දක්නට ලැබේ.

බස්නාහිර පළාත් සභා අයවැය ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම මස 22 වැනිදා පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදය දෙසැම්බර් මස 6, 7, 8, 9, 14 සහ 15 යන දිනවල පැවැත්වේ.