(සුජිත් හේවාජුලිගේ)

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස විවිධ පාර්ශ්ව රජයෙන් දැඩිව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක වීමෙන් පවතින අවස්ථාවක සහ ඔහු සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති අවස්ථාවක හෙතෙම ඇමැති ධූරයේ තබා ගැනීම සදාචාරාත්මක නොවන බව එම පාර්ශ්ව දැනටමත් පෙන්වාදී ඇත.

බලයට පත්වීමට පෙර සිටි මතවාදී ස්ථාවරයේ සිට කටයුතු කරන ලෙසටද එම පිරිස් රජයෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේද කුමාර ජයකොඩි මහතා වහාම එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජය කොඩි මහතාට එරෙහිව විපක්ෂයෙන් කතානායකවරයාට බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන මස 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතය. එම යෝජනාවට සහාය දැක්වීමට විපක්ෂයේ බොහෝ පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ළඟදීම කැබිනට් මණ්ඩලයේ කිසියම් සංශෝධනයකටද රජයේ සූදානමක් පවතින බව ආරංචි පැතිර යම්න් පවතී.