(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල නීඩ්වුඩ්  වත්තේ අවුරුදු 8 ක  දරුවකුට  බලෙන් කසිප්පු පොවා  සැඟව සිටි බව කියන  පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන අද (24) බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර සැකකරු මෙම මස 30 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හල්දුම්මුල්ල නීඩ්වුඩ් පදිංචි ලෙච්චමින් සිවකුමාර්  නැමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම දරුවාට බලෙන් කසිප්පු පෙවීමෙන් පසු  අධික ලෙස මත් වී අසාධ්‍ය ව සිටියදී 1990 ගිලන් රථ  සේවයෙන්  හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. 

මෙම දරුවාගේ මව විදේශගතව සිටියදී මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පියාද  බීමට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

දරුවාගේ පියා සමඟ කසිප්පු බීමට සැකකරු එම නිවසට පැමිණ සිටි අවස්ථාවේදී දරුවා මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල  පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.