( තිලකරත්න දිසානායක.)

ඖෂධ අලෙවි කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නොමැතිව රාගම නගරයේ ඖෂධ අලෙවි කළ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අක්ෂි රෝග ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව

ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 

ලද තොරතුරක් මත අදාල ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවත් එම ස්ථානයේ අක්ෂි කාච සහ කණ්නාඩි අලෙවි කරමින් අක්ෂි රෝග සදහා වන ඖෂධ අලෙවි කිරීම සිදු කොට ඇති බව පෙනී ගිය බවත් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය. 

අදාල ස්ථානයෙහි තිබී අක්ෂි රෝග ප්‍රතිකාර පිනිස ලබා දෙන ඖෂධ වර්ග 16 ක් සොයා ගනු ලැබූ බව හෙතෙම සදහන් කළ අතර එහි සේවයෙහි නිරතව සිටි 19 හැවිරිදි සේවිකාවක් සහ ඖෂධ තොගය නිලධාරීන් බාරයට ගනිමින් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හළ බවද කීය.