(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 30 ක මුදල් ආරවුලක් මුල්කරගෙන හැඳල ප්‍රදේශයේ නිවසට ඇතුලු වී  ව්‍යාජ පිස්තෝලයක් පෙන්වා   නිවැසියන්ට මරණීය තර්ජනය කළ ව්‍යාපාරිකයකු ව්‍යාජ අංක තහඩුවක්  සහිත ජිප් රථයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු ඊයේ (29) ඉහත නිවසට කඩා වැදී මෙම තර්ජනය සිදුකර ඇති බවත්, පුද්ගලයකු ගිනි අවියක් රැගෙන නිවසකට ඇතුළුව ඇති බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

භට පිරිස් ඉහත නිවස වෙත  යන අවස්ථාවේ සැකකරු එම නිවෙසින්  පලා ගොස් ඇති බවත් පසුව එම නිවෙස් තිබු සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරු හදුනාගෙන ඔහු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු ඔහුට අයත්  වත්තල ප්‍රදේශයේ අවන්හලක රැදී සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි නවතා තිබු ව්‍යාජ අංක තහඩුව යෙදු සුඛෝපභෝගී ජිප් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බාරයේ තිබු ව්‍යාජ පිස්තෝලය අන්තර් ජාලයෙන් රුපියල් 12,000 මුදලකට  ඇනවුම්කර ලබාගෙන ඇති බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.