ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවත් පහළ ගියේ ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න වෙමිනි. ඒ අනුව, ඩබ්ලිව්ටීඅයි ඉන්ධන බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 70.05ක් ලෙස සටහන් වුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 73.32 ක් යනුවෙනි.

මීට අමතරව, මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 66.45ක් දක්වා සියයට 4.57 කින් පහළ ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇමෙරිකා ඉරාන යුද ලැටුම් හේතුවෙන් පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 90 ත් 100 ත් අතර පරාසයකය.

කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බැවින් මෙන්ම හෝමූස් සුමද්‍ර සන්ධියේ නැව් ගමනාගමන කටයුතු පෙරට වඩා සිදුවන බැවින් බොරතෙල් මිල මෙලෙස අඩුවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් කිසිදු ආකාරයක බදු මුදලක් රක්ෂණ ගාස්තුවක් හෝ වෙනත් කිසිදු අයකිරීමක් ඉරානය විසින් අපේක්ෂා නොකරන බව හෝ ලබාගෙන නොමැති බව ඉරාන රජය ඇමෙරිකාවට දැනුම් දී ඇත.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් මුදල් අය කර ගන්නවා යැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් දැඩි ලෙ ස අවධාරණය කර ඇත්තේ එය ‘අසත්‍යයක්’ බවය.