(ඉන්දිකා  රාමනායක)

වසර තිස් නවයකට පෙර පොලිසියට  ගෙන්වා තිබු ජිප්  රථයක් වෙන්දේසියෙන් ලබාගෙන එහි අංක සහ වැසි අංක  යොදා නීති විරෝධීව  සකස් කර ධාවනයට  යොදා තිබියදී සුඛෝපභෝගි ජිප් රථයක් සමග  කෝටිපති ව්‍යාපාරිකයකු   පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකක විසින් රිදීමාලියැද්ද  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම ජිප් රථය දොර තුනේ  ජිප් රථයක් වශයෙන් එවකට පොලිසියට ආනයනය කර ඇති අතර  භාවිතයට නොසුදුසු තත්ත්වය හේතුවෙන් එය 1999 වසරේ දී  ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇති බව පොලිසිය පවසයි. මෙහි වටිනාකම රුපියල් කෝටියකට අධික බවද පොලීසිය කියයි.
මෙම  ජිප් රථය  මිළදී ගත් තැනැත්තා  එය  දොර 5 සුඛෝපභොගී ජිප් රථයක් වශයෙන්   කූඨ ලේඛන සකස් කර , එම ව්‍යාජ තොරතුරු  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  පරිගණක පද්ධතියෙන් වෙනස් කර මෙය සකස් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පැරණි අංකයක් සවිකළ සුඛෝපභෝගී ජිප් රථයක් වසර 4 ක  කාලයක සිට බදුල්ල  හා අවට ප්‍රදේශයේ  සැරිසරන බවට  පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව   බුද්ධි නිලධාරීන් යොදවා  සිද්ධිය තහවුරු කිරීමෙන් පසුව මෙම රථය  රිදීමාලියැද්ද ප්‍රදේශයේ දී    ව්‍යාපාරිකයා ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත්   සැකකාර ව්‍යාපාරිකයා බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු බවද පොලිසිය කියයි.
මෙම රථය පොලිස් වෙන්දේසියෙන් මිළදී ගත්තේ කව්ද, මෙය  නීති විරෝධී ලෙස වෙනස් කළේ  කව්ද  , යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද  පොලිසිය පවසයි.