(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අමාත්‍යවරයකුට අයත් නිල රථයක් බීමතින් පදවාගෙන ගිය බව කියන එම අමාත්‍යවරයාගේ රියදුරා නාරහෙන්පිට පොලීසිය අද අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍ය වරයාගේ නිල රථය ද මේ සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

රියදුරා බීමතින් සිටි බව අදාළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග  සඳහන් කරයි.

රියදුරා බීමතින් රථය පදවාගෙන යන අවස්ථාවේ අමාත්‍යවරයා රථයේ ගමන් කර නොමැත.

අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු මේ අවස්ථාවේ එම නිල රථයේ සිට ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නාරහෙන්පිට පොලිස් ස්ථානයට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුව ළඟ දී පොලිස් නිලධාරීන් සමඟ ඇමති රියදුරා සහ පොලිස් කොස්තාපල්වරයා බහින්බස් වීමක් සිදු කර ගෙන තිබෙන බවද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

පොලිස් නිලධාරියෙක් මේ බව පොලිස් පොතේ සටහන් ද යොදා ඇතැයි කියති.