2012 නොවැම්බර් 09 වැනි ද වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් 27 දෙනකු මිය ගොස් අදට වසර හතරක් සපිරුණත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැතැයි ද, එම සිදුවීමට තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ද කියමින් මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ, වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන්, හිටපු බන්ධනාගාර ඇමැති ගජධීර, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් එම පැමිණිල්ලේ වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙම වෙඩි තැබීම අහඹුවක් නොවන බවත්, මිය ගිය පිරිස ලැයිස්තු ගත කර ඒ අනුව මැරූ බවට ඇසින් දුටු සාක්කි ඇති බවත්, මේ සම්බන්ධයෙන් කළ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් එම පැමිණිල්ලේ සඳහන්ය.
එම පැමිණිල්ලේ මෙසේ ද සඳහන්ය.
‘‘ඝාතන පිළිබඳ සෙවීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් එවකට බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පත් කළ අතර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්ධුල අතපත්තුගේ ප්‍රධානත්වයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු සහ එවකට බන්ධනාගාර අමාත්‍යාංශයේ නීති උපදේශකව සිටි ලලිත් අන්ද්‍රාහැන්නදි එම කමිටුව විය. වසර එකහමාරක් පුරා හෙළිනොකරමින් සිටි එම කමිටු වාර්තාව 2014 වසරේ ජනවාරියේ දී එවකට විෂය භාර චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බාර දෙන ලදී. එම කමිටු වාර්තාව හෙළි නොකළ අතර පසුගිය ආණ්ඩුව කිසිඳු පරීක්ෂණයක් ද සිදු නොකරන ලදී.
යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතර කැපී පෙනෙන පොරොන්දුවක් වූ මෙම ඝාතන සෙවීමේ පොරොන්දුව තවමත් ඉටු නොකරමින් සිටී. ඝාතනයට පත් වූ රැඳවියන්ගේ දෙමව්පියන් සහ සිවිල් සංවිධාන 2015 වසරේ පෙබරවාරි 17 වැනිදා යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් සිදු කළ අතර එහිදී දින 100 ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යව සිටි සුජීව සේනසිංහ විසින් පොරොන්දුවක් ලබා දුන්නේ මේ පිළිබඳව සොයා බලන බවට ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතීඥ එස්. කේ. ලියනගේ මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. මාස පහක කාලයක් තුළ අදාළ ත්‍රිපුද්ගල කමිටුව සිද්ධිය ඇසින් දුටු රැඳෙවියන්ගෙන් සහ බන්ධනාගර නිලධාරීන්ගෙන් සාක්‍ෂි ලබාගෙන නැවත පුළුල් පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දී තිබේ. ඒ නව වාර්තාව ඉකුත් වසරේ ජුනි මස 9 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍යවරයාට බාර දී තිබේ. නමුත් මේ වන තුරු එම වාර්තාව හෙළි කිරීමට හෝ ඒ පිළිබඳව සොයා බැලීමට කිසිදු පියවරක් ගෙන නොමැත.
2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා මෙම ඝාතන 27 වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ අතර, බන්ධනාගරය තුළට ආයුධ සහිතව සෝදිසි සඳහා යැයි කියමින් යුද හමුදාවට ඇතුලූ විය නොහැකි නමුත්, එලෙස සන්නද්ධ හමුදා එවන ලද්දේ කුමණ නිලධාරියෙකූ ගේ අණට අනුව ද? ලැයිස්තුවකට ගෙන යම් යම් තෝරා ගත් රැඳවියන් ඝාතනය කළේ කුමක් සඳහා ද? එය කාගේ වුවමනාවක් ද? යන්න තවමත් හෙළි නොකර තිබේ. යුද හමුදාවට එවැන්නකට අවසර ලබා දිමේ බලය ඇත්තේ සේනාධි නායකයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට වේ. නමුත් මේ වන තුරු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, ඇමැතිවරුන් දෙදෙනෙකු සහ කමිටු දෙකක් විසින් මෙරට සිදු වූ බරපතළම ඝාතනයන් සැඟවීම තුළ ඇත්තේ සැකයකි.
තොරතුරු දැනගැනීමේ පනත වැනි වැදගත් පනත් සම්මත කිරීමට ද, යුක්තිය හා මානව හිමිකම් වෙනුවෙන් වග වන බවට ද පොරොන්දු වූ ඔබ ආයතන සහ ජනපති - අගමැති ප්‍රමුඛ ආණ්ඩුව මේ වනතුරුත් මෙම ඝාතන පිළිබඳව නිහඬව සිටීම ගැන ඇත්තේ කණගාටුවකි. වසර හතරක් පුරා මාධ්‍යවේදියෙකු ලෙසත්, යුක්තිය අපේක්ෂා කරන සිවිල් පුරවැසියෙකු ලෙසත් මේ පිළිබඳව මා හෙළි කර තොරතුරු ද, ප්‍රසිද්ධ මාධ්‍යයට ලබා දිය නොහැකි මෙම ඝාතන වලට අදාල ජායාරූප සාක්ෂි සහ ඇසින් දුටුවන් ගේ හඬ පට ද විශ්වාසනීය ආයතනයක් වෙනුවෙන් ලබා දීමට වුව හැක. හඬක් නැගිය නොහැකි එම රැඳෙවියන් පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, නැවත එම ඝාතනයන්ට අනුබල දුන්නන් පිළිබඳව සොයා බලන ලෙස ද මින් ඉල්ලා සිටිමි.
කසුන් පුස්සෙවෙල
මාධ්‍යවේදී‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලේකම්ව කොහොමද උසාවි ගෙනියන්නේ? (අ)
අර හිමි දෙනමක් අපවත් කළ නිදන් හොරු දෙදෙනාත් නම අහල මැරුවලු නේ (බ)
සිරකරුවොත් සාමාන්‍ය මිනිසුන් කිවුවට එදා අසරණයින් මරාදැම්මේ බල්ලෝ බළල්ලු ගානට. ලෝකේ කොහෙවත් මෙහෙම වෙලා නැහැ. දේශපාලුවෝ සිල් ගත් අය වගේ අඳින්නේ සුදෝ සුදු. පවතින අාණ්ඩුවවත් මේ ගැන සොයාබලා වරදකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
ඒත් ඔය මැරුණු රැඳවියෝ හරිම අහිංසකයෝ නේද. මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
ඔන්න ඕකට තමයි අපි කියන්නේ නිලයි-කොළයි කියන්නේ පක්ෂ දෙකක් නොව පාට දෙකක් පමණයි කියලා. කොළපාට ගහකොළ කවියාට පෙනෙන්නේ "නීල වනරොදක්" ලෙසටයි. හිරගෙදර ඝාතනය "පන්ති සහයෝගය" යටතේ අලුත් පිරිස පවා තවදුරටත් ඒවා වසන් කිරීම නොවැළක්විය හැකි වනු ඇත. නමුත් අපරාධකාරයෙකු ආරක්ෂා කළහැක්කේද තවත් අපරාධකාරයෙකුට පමණි. (නි)
ඕකට ප්‍රධාන වගකිවයුත්තා කවුද කියලා රටම දන්නවා. ඒවගේම ඔහුව ආරක්ෂා කරන්නේ කවුද කියලත් රටම දන්නවා. මෙම ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමති ඉන්නතාක්කල් ඔය අපරාධ හා දුෂණ වංචා සම්බන්ධයෙන් කාටවත් දඬුවම් ලැබෙන්නේ නැහැ. එ්ක තමා ඇත්ත (නි)
අශිකා, ලංකා, මේ රටේ ශිෂ්ඨ සම්පන්න බව වචන වලට විතරයි. පාතාලෙ එවුන් කාන්තාවන් මහ මග රංචු ගැහිල දූෂණය කරා. මේ අය පොලිසියට ගියේ නෑ මරණ බයට. ගිහිපු අයගේ පවුල් පිටින් මරල දැම්මා. විරුද්ධ පාතාල කල්ලිවල සාමාජිකයින්ගේ අම්මා, බිරිය, දරුවන් දුෂණය කලා ඒව කළේ තිරිසන් විදිහට.ශිෂ්ට සම්පන්න රටේ මහ පාරේ කකුල් වෙන්වෙන්නම කපලා පස්සේ මරලා දැම්මා. අවුරුදු 2-3 දරුවෝ දූෂණය කරල මරල දැම්මා. හොද දේ හොදම විදිහට වුනා. කමිටු 2 ක් ආණ්ඩු 2ක් නිහඩ ඒකයි.(අ)
ඔය ඔක්කොම වුණේ මොකද කියලා අපි දන්නවනේ (නි)
ඇලෙක්ස්, ඔයාට හදවතක් නැතිවුණාට මැරුන මිනිසුන් මොනතරම් දරුණු වුණත් ඔවුන්ට මේ විදියට මැරෙන්න අවශ්‍ය නැහැ. හැමදේටම නීතියක් තියෙද්දී මිනීමරන්න දෙන්න බැහැ. මේක ශිෂ්ටසම්පන්න රටක්. මේවා දිහා ලෝකෙම පිළිකුළෙනුයි බලන්නේ. (නි)
පුස්සක් වෙලා කියලා ඒකෙන්ම තේරෙනවානේ. (නි)