සමන් පාලිත නානායක්කාර

පවතින වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද 28 අලුයම සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක් පස්කදු සහ ගස් කඩා වැටී අවහිර වී ඇතැයිද කණ්ඩියක් කඩා වැටී බදුල්ල තල්දෙන නිවසකට හානි වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

බදුල්ල මහියංගන මාර්ගයේ බදුල්ල සිට හතේ කණුව දක්වා කොටසට තැනින් තැන පස් කඳු හා ගස් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවද එම මධ්‍යස්ථානය කියයි.

බදුල්ල මහියංගන මාර්ගයේ හතේ කණුව තල්දෙන බන්ධනාගාරය අසලදී දැවැන්ත ගසක් කඩා වැටී ඇති අතර දුන්හිඳ අසලදී ද දැවැන්ත ගසක් කඩා වැටී තිබේ.

මෙම මාර්ගයේ තැනින් තැන වැටී ඇති පස් කඳු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ අතර දියතලාව හපුතලේ අතර ප්‍රදේශයේදීද මාර්ගයට ගසක් කඩා වැටී අවහිර වී තිබේ.

මාර්ග පිළිසකර කරන තෙක් මෙම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

බදුල්ල රිදීපාන ප්‍රදේශයේ නිවසක පිටුපස තාප්පයක් කඩා වැටි එම නිවසට දැඩි හානි සිදුවී ඇති බවත් එහි සිටි අයගේ ජීවිත බේරී ඇති බවත් පොලිසිය කියයි.

අවහිර වී ඇති මාර්ග අද අලුයම සිටම පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පොලිසිය හා ආපදා සහන සේවා ඒකකය මැදිහත්ව මේ වන විටත් ආරම්භ කර තිබේන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට ඊයේ රාත්‍රී සිට මිලි මීටර් 100 ඉක්මවූ තද වර්ෂා ඇද හැලෙමින් පවතින බවද උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.