තරිඳු ජයවර්ධන
 
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කර සමාව ගැනීමට බල කර හෝ දණ ගස්සවා නොමැති බව ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් පැවැත්වූ විමර්ශන වාර්තාවේ සඳහන්වේ.
 
මෙම විමර්ශන වාර්තාව සකස් කරද්දී එක්වරම තීරණයකට එළඹීමට අපහසු වූ බවත්, ඊට හේතුව පුද්ගලයන් ලබා දුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව බවත් එම වාර්තාවේ දැක්වේ. විදුහල්පතිනි ආර් භවානි මහත්මිය ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට කැඳවූයේ කවරුන්ද යන්න ගැන විමර්ශනයේ දී පරස්පර ප්‍රකාශ ලැබුණු බව ද,   ඇය ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට යන්නේ ඇගේ වුවමනාවකට නොව  අමාත්‍යවරයාගේ දැනුම් දීමක් අනුව පළාත් ලේකම්වරිය විසින් කරනු ලැබූ කැඳවීම අනුව යැයි තීරණය කරන බව ද විමර්ශන වාර්තාවේ සඳහන්වේ.
 
 
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනිය ආර් භවානි මහත්මිය දණගැස්වීයැයි කියන සිද්ධිය ගැන විමර්ශනයක් පැවැත්වීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා 2018 පෙබරවාරි 14 වැනි දා ඩබ්ලිව් ගමගේ වික්‍රමසිංහ නම් විමර්ශන නිලධාරියකු පත් කළ අතර  ඔහුට පහසුකම් සැපයීමේ නිලධාරිනිය ලෙස ඌව පළාත් නියෝජ්‍ය ලේකම් (පාලන) ආර් එම් එස් ඩී රත්නායක මහත්මියගේ  පත් කර තිබිණි.
 
විමර්ශන නිලධාරී ඩබ්ලිව් ගමගේ වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලදුව ආණ්ඩුකාරවරයාට බාර දුන් විමර්ශන වාර්තාව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ යොමු කළ තොරතුරු ඉල්ලුම්පත්‍රයක් අනුව ආණ්ඩුකාර කාර්යාලයෙන් ලබා ගැනීමට හැකි විය. 
 
එම විමර්ශන වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම විමර්ශනය පවත්වා ඇත්තේ දින දින තුනකදීය. 
 
පළමු දිනයේ දී අදාල ගොනු පරීක්ෂා කර බලා පාර්ශ්වකරුවන් කැඳවන ලිපි සකස් කර යවා ඇතැයි ද,  දෙවැනි දිනයේ දී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර් භවානි මහත්මියගේ ප්‍රකාශය ද, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී එම් විනීතා දිසානායක මහත්මියගේ ප්‍රකාශය ද, උව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් එම් පී රත්නායක මහතාගේ ප්‍රකාශය ද ලබා ගෙන ඇතැයි ද, තෙවැනි දිනයේ දී ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පී ඒ එම් එස් පී අඹන්වල මහත්මියගේ ප්‍රකාශය ලබා ගෙන ඇතැයි ද විමර්ශන වාර්තාවේ සඳහන්වේ. 
ඊට අමතරව බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ පවත්වාගෙන යන ලොග් සටහන් පොතේ 2018 ජනවාරි දෙවැනි දා , තුන් වැනි දා සහ නව වැනි දා තබා ඇති ලොග් සටහන් වල සහතික පිටපත් ද, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරී පී ශෂිකලා මහත්මිය විසින් පරිවර්තනය කරන ලද ඉහත ලොග් සටමන්වල සිංහල පරිවර්තන ද, බදුල්ල ඇළ පාර අන්දෙනියේ පදිංචි මොහොමඩ් හුසේන් මහතා විසින් සමාදාන විනිශ්චයකාර ඩබ්ලිව් ඒ නිමල් වීරසිංහ මහතා ඉදිරියේ අත්සන් තබන ලද පෙබරවාරි අට වැනිදාතම දිවුරුම් ප්‍රකාශයේ සහතික පිටපතක් ද, බදුල්ල අන්දෙනිය ඇලේවත්තේ පදිංචි මොහොමඩ් අනීස් මහතා විසින් සමාදාන විනිශ්චයකාරවරයකු ඉදිරියේ අත්සන් තබන ලද දිවුරුම් ප්‍රකාශයේ සහතික පිටපතක් ද විමර්ශනයට උපයෝගී කර ගත් බව විමර්ශන වාර්තාවේ දැක්වේ.
 
දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට එවන ලෙස උපදෙස් දුන්නේ අධ්‍යාපන ලේකම්වරිය යැයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී එම් විනීතා දිසානායක මහත්මිය විමර්ශනයේදී ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරියා සිය වර්තාවේ සඳහන් කර තිබේ. ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් එම් පී රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ 2018 ජනවාරි තුන් වැනි දා ප්‍රධාන අමාත්‍යවරයා මුණ ගැසීමට ඔහුගේ නිල නිවසට යන විට දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය හඬමින් කරුණු කී බවයි. ඉන් පසු ඇය ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියට ගොස් අත් දෙක එකතු කර ප්‍රධාන අමාත්‍යරයා ඉදිරියේ නැමී සිටිනු දුටු බවත්, තමා ඇයට වාඩිවන්න යැයි කියූ බවත්, එදින බැන වැදීමක් සිදු නොවූ බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළ බව විමර්ශන වාර්තාවේ සදහන්වේ.
 
ඌව පළාත් අධ්‍යාපන ලේකම් පී ඒ එම් එස් පී අඹන්වල මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ තමා ජනවාරි තුන් වැනි දා ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගියේ ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් දුරකතනයෙන් කතා කර කළ දැනුම්දීමක් අනුව බවයි. ඇය වැඩිදුරටත් කියා ඇත්තේ ළමයකු පාසලට ඇතුළත් කර ගැනීමක් ගැන කතා කරද්දී විදුහල්පතිනිය කලබලයට පත්ව හඬාගෙන ප්‍රධාන අමාත්‍යවරයා දෙසට ගොස් සමාව ඉල්ලා වැන්ද බවයි. ඇය දණ නොගැසූ බව ද ලේකම්වරිය කියා තිබේ.
 
ප්‍රකාශ හා ලියැවිලි විශ්ලේෂණයේ දී එක්වරම තීරණයකට එළඹීමට අපහසු බවත්, ඊට හේතුව පුද්ගලයන් ලබා දුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව බවත් විමර්ශන වාර්තාවේ සඳහන්වේ.
 
සම්මූඛ පරීක්ෂණයක් තියා කෙනකු තෝරාගෙන දෙමළ බාලිකා විද්‍යාලයට පත් කර තමා ඈත පාසලකට දමන ලෙස ප්‍රධාන අමැතිවරයා ලේකම්වරියට උපදෙස් දුන් බව විදුහල්පතිනිය ප්‍රකාශ කළ බව විමර්ශන වාර්තාවේ දැක්වේ. එවැන්නක් ප්‍රධාන ඇමැති නොකී බව ලේකම්වරිය කී බවත් එම වාර්තාවේ දැක්වේ. ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතාවක් ඇති වූ බව විදුහල්පතිනිය කියා ඇතත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කියා ඇත්තේ එවැනි කතාවක් වුණාද යන්න නිශ්චය නැති බව යැයි තොරතුරු පනත යටතේ ලබා ගත් විමර්ශන වාර්තාවේ සඳහන්වේ.  
 
ප්‍රධාන අමාත්‍ය නිල නිවසට තමා සමඟ අධ්‍යාපන අධ්‍යක්ෂ ද ගිය බව අධ්‍යාපන ලේකම්වරිය කියා ඇතත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියා ඇත්තේ තමා නිල නිවසට යන විට පළාත් ලේකම්වරිය එහි ගොස් සිටි බවයි. මේ ආකාරයේ පරස්පරතා කිහිපයක් විමර්ශන වාර්තාවේ සඳහන් කර තිබේ.
 
විදුහල්පතිනි ආර් භවානි මහත්මිය ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට කැඳවූයේ කවරුන්ද යන්න ගැන ද විමර්ශනයේ දී පරස්පර ප්‍රකාශ ලැබී ඇති බව එම වාර්තාවේ සඳහන්වේ. විමර්ශනයේදී තීරණය කර ඇත්තේ විදුහල්පතිනිය ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට යන්නේ ඇගේ වුවමනාවකට නොවන බවයි. අමාත්‍යවරයාගේ දැනුම් දීමක් අනුව පළාත් ලේකම්වරිය විසින් කැඳවීම කරනු ලැබ ඇති බවත් තීරණය කරන බව විමර්ශන වාර්තාවේ සඳහන්වේ.
 
මෙලෙස කරුණු විශ්ලේෂණය කිරීමෙන් පසු විමර්ශන නිලධාරියා නිගමනය කර ඇත්තේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිවසට ගෙන්වා තර්ජනය කර සමාව ගැනීමට බල කිරීම හෝ ඇය දණ ගැස්සවීමේ සිදුවීමක් ඒ ආකාරයෙන් සිදුව නොමැති බවයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් පවත්වන අතර එම විමර්ශනය මේ වන තෙක් අවසන් වී නැත.