(නිමන්ති රණසිංහ)

බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සිංහල ආචාර්යවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කළේය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළ අයවලුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහෙයින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය අද (29) අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති බවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සදහන් කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20 වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණී.