බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව ඇති උරුවෙල් දනව්වේ සේනානි නියම් ගම හරහා ගලා යන නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදුනුවණ) මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් 12 වැනි සෙනසුරාදා පැවැත්විණි.
එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කරන අඹන්පොළ ඤාණවිජය හිමියෝ ප‍්‍රකාශ කළේ මෙවර ද කඨින චීර පුජා පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් ව පැවත්වුණ බවයි.
මේ පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණේ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්ද්‍රසිරි ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක හිමියන්ගේ මූලිකත්වයෙන් සහ මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙනි.
කඨින චීවර පූජාවේ ප්‍රධාන දායකත්වය ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සහ පුෂ්පරාණි කරුණාරත්න මහත්මිය විසින් දරනු ලැබූහ.
මෙයට ම සමගාමී ව නොවැම්බර් මස 12 වනදා ස්වාමීන් වහන්සේලා 200 නමකට දහවල දානය පූජා කරන්නට යෙදුණේ බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රම භූමියේ දී ය. එහි දී සියලූ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වටිනා පරිෂ්කාර පූජාවන් ද සිදු කෙරිණි. ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා මහානායක හිමියන්ට කඨින චීවරය පූජා කර සඟසතු කළේය. එදින ම බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමය මගින් මෙහෙයවන දහම් පාසලේ අධ්‍යාපනය ලබන ඉන්දියානු දරුවන් 500 දෙනෙකු හට පාසල් උපකරණ සහ ඇඳුම් ප‍්‍රදානයක්ද සිදු කැරිණි.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ගේ දෙස් විදෙස් ධර්ම ප‍්‍රචාරක වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයක් ලෙසින් දීපව්‍යාප්තව ද රටවල් ගණනාවක ද බිහි කෙරුණු මහමෙව්නාව භාවනා අසපු අතරට බුද්ධගයාවේ බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමය එක් වූයේ මින් වසර 9කට පෙර 2007 වසරේ දී ය. මුල් කාලයේ පටන් වාර්ෂික ව බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමය මඟින් කඨින චීවර පූජා පින්කම් සිදු කෙරුණ අතර 2015 වසරේ දී එම අසපුවේ එතෙක් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කරමින් ඉන්දියාව තුළ ධර්ම ප‍්‍රචාරය පිණිස අපමණ මෙහෙවරක් ඉටු කළ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ පසුව උන්වහන්සේ උදෙසා සිදු කෙරෙන පුණ්‍යානුමෝදනාවක් ලෙසින් වාර්ෂික කඨින චීවර පූජාව ඉතා ඉහළින් සිදු කරන්නට කටයුතු යෙදිණි.
මේ වසරේද ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පින්කම සිදු කෙරුණේ දෙවැනි වරටයි. පසුගිය වසරේ දී මෙන් ම මෙම වසරේ දී ද බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමයේ මෙම පින්කමට සමගාමී ව පසුගිය නොවැම්බර් 11 වැනිදා වජිරාසන භූමියේ භාවනාවේ යෙදෙමින් වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලා 300 නමක් විෂයෙහි පිණ්ඩපාත දානය ද පූජා කැරිණි. පින්කමට සහභාගී වූ වජිරාසන භුමියේ දී අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූහ. වජිරාසන පිළිම වහන්සේ උදෙසා මැණික් ගල් ඇල්වූ සිවුරක් පූජා කිරීම ද මෙදින සිදු වූ අතර වජිරාසන භූමියේ පහන් දල්වා සොඳුරු ආලෝක පූජාවක් ද සිදු කැරිණි.
කඨින චීවර පූජාව සිදු කෙරුණු දින රාත‍්‍රියේ දී බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමයේ දහම් පාසැල් දරු දැරියන් විසින් පාලි සහ හින්දි සූත‍්‍ර සජ්ඣායනාවක් පවත්වන ලදී. ඉතා මධුර ස්වරයෙන් පැවැත්වූ එම සජ්ඣායනා ශ‍්‍රවණය කළ බොහෝ සැදැහැවත්හු එම දරු දැරියන්ට ත්‍යාග පිරිනැමූහ.
මෙම පින්කම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අනුශාසක ධුරන්දර හිනිදුම නන්ද, මහමෙව්නාව සංඝ සභාවේ සභාපති බණ්ඩාරවෙල මුදිත සහ ශ‍්‍රද්ධා රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ අනුශාසක අලුදෙණියේ සුබෝධි යන හිමිවරුන් ප‍්‍රධාන මහා සංඝරත්නය 150 නමක් සහ සම්භාවනීය ගිහි පින්වත්හු රැසක් සහභාගී වී සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සුවිශේෂිම අවස්ථාවක් වාර්තා කිරීමක්.මේ වාර්තාකිරිම බොහෝදෙනාට හිතසුව පිණිසම වනවා, ලංකා දීප කාර්‍යමණ්ඩලයටත් අප්‍රමාණ කුශල් රැස්වෙනවා.එවගේම සාමාන්‍ය පුවතකදි සිත් දූෂණය කරගෙන අදහස් ප්‍රකාශ කලත් මෙවන් වටිනා පින් පිරෙන පුවත් වාර්තා කිරීම වෙනුවෙන් ස්තූතිවන්තවෙමි. (ම)
මෙය ඉතාම වටිනා කාලෝචිත වාර්තා කිරීමක් බොදුනුවන්ගේ සිත් පහන් කෙරෙන්නක්.සංවිධාණය කල සියල්ටමත් සාහභාගීවූ සියලු දෙනාටමත්,බොහෝ කුසල් සහ පිං ප්‍රර්ථනා කරමි. (ම)
බුදු සසුන බැබළේවා! (නි)
නමෝ බුද්ධාය! සාදු! සාදු!! සාදු!! පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මේ සඳහා සහභාගිවුණ සියලු පින්වත් ස්වාමින් වහන්සේලට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා! (නි)
නෙත් රිසිකරවන ලෙස දුන් දානය... ගත් ගත්සේ අඩු නොවන නිධානය... ගත් පින් අණසක ලොවට නිධානය... අත්වේවා සැමටම නිවන් උදානය.... (නි)
සාදු සාදු සාදු !!!! (බ)
ථෙරාවාදී බුදුදහමේ කේන්ද්‍රස්‌ථානය ලෙස හැඳින්වෙන මෙරට භික්‌ෂුවගේ විනය හා කාර්යභාරය පිළිබඳව ප්‍රබල සමාජ කථීකාවක් ඇතිවී ඇති අවධියක් ලෙස ගෙවීයන මෙම කාලය තුල ඔබ වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීම තුලින් ඉගන ගත් දැ අති සුවිශේෂයි ධර්මය ප්‍රචාරය කළ කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමින්වහන්සේටත්, දේශකයාණන් වහන්සේටත්, ඇතුළු ශ්‍රද්ධ රුපවාහිනී නාලිකා වේ සියලුම දෙනාටත් මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝද වේවා!!!! සියල්ලෝ වහා වහා ධර්මය අවබෝධ කර ගනිත්වා!! තෙරුවන් සරණයි. (බ)
ඡායාරූප වලින් හෝ මෙවැන්නක් දැකීම අපේ වාසනාවක් (නි)
සාදු !!! සාදු !! සාදු !!! (නි)
සියළු දෙනාටම බුදු සරණයි! (නි)
සාදු සාදු සාදු!!! (නි)
සාධු සාධු සාධු!!! (නි)
උතුම් බුද්ධ භුමියේදී සිදුකරනලද මෙම උතුම් පිංකම දැක බලා සතුටු සිතින් මමද අනුමෝදන් වෙමි. (නි)