(අංජුල මහික වීරරත්න)

කෘෂි කාර්මික ක්ෂෙත්‍රයේ  කටයුතු විධිමත් සහ වේගවත් කිරීම සඳහා ලාංකිකයන් කරන ලද නව නිර්මාණ රැසක් හඳුන්වාදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙම නව නිෂ්පාදන අතර පසෙහි විද්යුත් සන්නායකතාව (Electric Conductivity) මැනීමේ නව උපකරණයක් තරුණ නව නිපැයුම්කරුවෙක් වන විදුලි ඉංජිනේරූ කසුන් සිරිවර්ධන මහතා විසින් හදුන්වා දෙනු ලැබීය.

පසේ පී.එච්. අගය මැනීමට මෙන්ම පසෙහි ලවණතාවය පහසුවෙන් පරීක්ෂා කිරීමට මෙම උපකරණය යොදා ගත හැකි බවත් මෙවැනි උපකරණයක් විදේශ රටකින් ආනයනය කරන්නේ නම් රුපියල්  90,000ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත් සිරිවර්ධන මහතා  පැවසීය.

මෙම නව නිපැයුම  රුපියල් 6000ක් වැනි මුදලකට සාදා ගත හැකි බවද ඔහු කීය.

එමෙන්ම එළදෙනුන්ගෙන් සවස් කාලයේ දොවා ගන්නා කිරි පැය 24ක් යන තෙක් ආරක්ෂිතව තබා ගත හැකි උපකරණයක් ද මෙහිදී හඳුන්වා දුන්නේය.

පශු සම්පත් පාලනයෙහි යෙදෙන ඇතැම්  අය කිරි කල් තබා ගැනීමට උචිත පහසුකම් නොමැතිකම නිසා කිරි දොවන්නේ උදය කාලයේ පමණක් නමුත් දෙනුන්ගෙන් සවස් කාලයේ කිරි දෙවීම මගින් උදේ කාලයේ ලබා ගත හැකි කිරි ප්‍රමාණය ඉහළ යන බව නව නිපැයුම්කරුවෝ මෙහිදී පැවසූහ.

කුඹුරුවලට යෙදිය යුතු මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර රටෙි නොමැති නිසා ගොයම් ගසේ කිරි මුල් පද්ධතිය ශක්තිමත් කරන නව පොහොර විශේෂයක් ද එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව නිපදවා ඇති අතර එම පොහොර විශේෂය හඳුන්වා දීම ද මෙහිදී සිදු විය.

මීට අතරව සහල් පිටි යොදා ගනිමින් රසකැවිලි සැකසීම පිළිබඳව කළ නව හඳුන්වා දීම් ද අමාත්‍යවරයාට මෙහිදී බාර දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේ කෘෂි අංශයේ  නව නිපැයුම් අගය කිරීම සඳහා ජනාධිපතිවරයා ගේ සහභාගීත්වයෙන් ලබන වසරේ දී  සම්මාන පිරිනැමීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවයි.