(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ මහ බැංකු සේවකයන් මහ බැංකු අධිපතිවරයාට සහ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් තිදෙනකුට සිය ධුරවලින් ඉල්ලා අස්වීමට බල කරමින් අරගලයක් ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මහ බැංකු සේවකයන් 300 කට අධික පිරිසක් එරට මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කරමින් අධිපතිවරයාගේ කාර්යාලයට කඩා වැදී ඇති බවත් මහ බැංකු අධිපතිවරයාගේ කාර්යාලයට කඩා වදින අවස්ථාවේදී මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් එහි සිට නොමැති ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.

මහ බැංකු සේවකයන් එම අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනෙකු ඇතුළුව ඉහළ පෙළේ නිලධාරීන් පස් දෙනකු ඔවුන්ගේ කාර්යාලවලින් එළියට දමා ඇති බවත් අධිපතිවරුන් තිදෙනාට සහ ඉහළ නිලධාරීන් දෙදෙනාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔවුන් බලකර ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

එම අවස්ථාවේදී මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන කාසි රෙහෙමාන් හිස් කොළ කැබැල්ලකට අත්සන තබා ඉල්ලා අස්වීම ලියාගන්නා ලෙස පවසමින් එම කොල කැබැල්ල විධායක අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට ලබාදී ඇති බවත් ඉතිරි සිව් දෙනාද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර බංග්ලාදේශ මූල්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී මසූද් බිස්වාස්ද සිටින බව එරට මාධ්‍ය පෙන්වා දුන්නේය.

බංග්ලාදේශ මහ බැංකුව තුළ අරගලයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ඒ සඳහා මහ බැංකුවේ සෑම දෙපාර්තමේන්තුවකම පහේ නිලධාරීන් සහභාගී වී ඇති බවත් එරට මාධ්‍ය පැවැසුවේය.